Home » බබාට උණද?
සුව හමුව

බබාට උණද?

by sachintha
January 6, 2025 1:01 am 0 comment

කිරි සුවඳැති පුංචි පැටවුන් එසේ නැතිනම් පුංචි දූ පුතුන් ඉන්නා අපේ මවුපියන් ගේ දවසේ රාජකාරි නම් මොහොතකටවත් නිම නොවන තරම්ය. ඒ පුංචි පුතු ගේ හෝ දූ පැටියා ගේ දහසකුත් එකක් කටයුතු සමඟිනි.

නොයෙකුත් හේතු මත පුංචි දරුවන්ට ඇතිවන උණ පිළිබඳ අද අපි මූලික අවබෝධයක් ලබා ගනිමු.

උණ

අපේ පුංචි පැටවුන් නැතිනම් දූ පුතුන් නිතරම ගොදුරු වන තත්ත්වයක් ලෙස උණ හඳුනාගත හැකිය . එහෙත් අපේ මවුපියන් හොඳින් අවබෝධ කරගත යුතු දෙයක් වන්නේ උණ ලෙස අප හඳුනා ගන්නා තත්ත්වය සැබැවින්ම යම් වෙනත් රෝගයක රෝග ලක්ෂණයක් මිස රෝගයක් නොවන බවයි. එසේම උණ හට ගැනීමට බලපෑ හැකි හේතු ගණනාවක් ද පැවතිය හැකිය. ඒ අතර අප එබඳු එක් අවස්ථාවක් නැතිනම් උදාහරණයක් ගෙන බැලුවොත් අපේ පුංචි පැටවුන්ට උණ හට ගැනීමට බහුලව බලපාන එක් හේතුවක් ලෙස විවිධ විසබීජ හඳුනාගත හැකිය .

නිවැරැදිව උණ මැන ගත්තාද ?

බොහෝ විට අපේ මවුපියන් බහුල ව හුරුපුරුදු ව සිටිනුයේ පිටි අත්ලෙන් දරුවාගේ නළල ස්පර්ශ කොට උණ හඳුනාගැනීමට උත්සුක වීමට ය . එහෙත් එය නිවැරැදි පිළිවෙළ නොවේ. මේ ක්‍රමයෙන් අපට නිවැරැදි ලෙස දරුවාගේ උණ හඳුනාගත නොහැකි අතර අප නිවැරැදිව උණ මැනගැනීමට නම් භාවිත කළ යුත්තේ උෂ්ණත්වමානයකි. එහිදී දරුවාගේ කිහිල්ල යට උෂ්ණත්වමානය රඳවා තබා උෂ්ණත්වය මැන ගැනීම නිවැරැදි ක්‍රමයයි. එහිදී අප උෂ්ණත්ව මැන ගන්නා පාඨාංක දෙකක් පවතින අතර ඒ සෙන්ටිග්‍රේඩ් හා ෆැරන්හයිට් වශයෙනි. දරුවාගේ සිරුරේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 37.2 ඉක්මවා ගොස් ඇතිනම් එය උණ තත්ත්වයක් බව අවබෝධ කරගත හැකිය. එසේම ෆැරන්හයිට් අංශක 99 ඉක්මවා ගිය කල්හි ද එලෙසම හඳුනාගත හැකිය .

මොකක්ද මේ තද උණ ?

සිරුරේ උණුසුම සෙන්ටිග්‍රේඩ් අංශක 38:5 ඉක්මවා ගිය කල්හි හෝ ෆැරන්හයිට් අංශක නම් 102 හෝ 103 පමණ ඉක්මවා ගිය අවස්ථාවලදී එම අවස්ථාව තද උණ තත්ත්වයක් ලෙස හඳුනා ගනිමු .

මොකක් ද කරන්න ඕනෑ ?

සාමාන්‍යයෙන් අපි අපේ දූ පුතුන් සාමාන්‍ය උණ තත්ත්වයක පසුවන අවස්ථාවකදී පැරසිටමෝල් ඖෂධය ලබා දීමට පුරුදු ව සිටිමු. විශේෂයෙන් දරුවා බරපතළ රෝග ලක්ෂණයක් හෝ උණ රෝගී තත්ත්වයක් පෙන්නුම් නොකරයි නම් මාස තුනට වැඩි දරුවාට පැය තිස් අටේ සිට හතළිස් අටක් පමණ ගෙවෙන තෙක් පැරසිටමෝල් ඖෂධය නියමිත මාත්‍රාවෙන් , නියමිත කාල වේලාවට අදාළව පමණක් එනම් පැය හයකට වරක් බැගින් දෙමින් දරුවාගේ උණ තත්වය පාලනය කරමින් දරුවා නිරීක්ෂණය කළ හැකිය. එසේ වුවත් මාස තුනට අඩු දරුවකුට මේ ආකාරයේ ප්‍රතිකර්මයක් නිර්දේශ නොකරයි. එනම් එබදු ප්‍රතිකර්මයක් කිරීමෙන් වැළකිය යුතුය. එනම් මාස තුනට අඩු බිලිඳකුගේ උණ අසනීප තත්ත්වයකදී අප දරුවා ඉක්මනින් වෛද්‍යවරයකු වෙත ගෙන යෑම බොහෝ වැදගත් ය.

පැරසිටමෝල් එපාද ?

දරුවාගේ උණ ඉක්මනින් අඩු කරගැනීමට වැඩිපුර පැරසිටමෝල් මාත්‍රා ලබා දීමට සමහර මවුවරුන් පුරුදු වී සිටියත් එය නොකළ යුතු ක්‍රියාවකි. එසේම උණ අඩුකර ගැනීමේ අරමුණින් පැරසිටමෝල් නොවන අනිකුත් ඖෂධ වර්ග කිසිවක් ද භාවිත නොකළ යුතු ය. හේතුව දරුවාට හටගෙන ඇති උණ රෝගය ට නිශ්චිත හේතූ දරුවාට පැරසිටමෝල් ඖෂධය හැර වෙනත් යම් ඖෂධයක් ලබා දීමෙන් මඟහැරී යා හැකිවාක් පමණක් නොව එමඟින් යම් බරපතළ තත්ත්වයක් පවා දරුවාට බලපෑ හැකි නිසාය.

නිදසුනක් ලෙස ඩෙංගු රෝගය පෙන්වා දිය හැකිය. දරුවාගේ උණට හේතුව ඩෙංගු රෝගය නම් මේ ආකාරය ට අප අවබෝධයෙන් තොරව උණ අඩුකර ගැනීමට ලබා දෙන වෙනත් ඖෂධ නිසා දරුවාගේ උණට බලපා ඇති රෝග තත්ත්වය බරපතළ තත්ත්ව කරා වර්ධනය වී දරුවා අවදානමකට පවා ලක් වීමේ වැඩි ඉඩකඩක් ඇති බැවිනි. එබැවින් සුළු උණ අසනීප තත්ත්වයකදී එය පාලනය උදෙසා දරුවාට වෛද්‍ය උපදෙසින් බැහැර ව පැරසිටමෝල් ඖෂධය හැර වෙනත් කිසිදු ඖෂධයක් දීම නොකළ යුතුය . වැදගත් ම දේ අප සිහි තබා ගත යුතු මේ අප සාකච්ඡා කරනුයේ දරුවාට හට ගත හැකි සාමාන්‍ය සුළු අසනීපය තත්ත්වයකදී ගත හැකි පියවර පිළිබඳ පමණක් සැලකිල්ලට ගෙන මේ අදාළ පිළියම් සාකච්ඡාවට ගන්නා බවය.

උණ අඩු නැතිනම් ?

දරුවාට බලපා ඇති මඳ උණ අසනීප තත්ත්වය පැරසිටමෝල් ඖෂධය ලබා දීමෙන් දින දෙකක් පමණ ඉක්ම ගිය පසුත් අඩුවීමක් පෙන්නුම් නොකරයි නම් දරුවා වෛද්‍යවරයාට පෙන්වීම ඉතා වැදගත් ය. එහෙත් ඒ කාලය ඇතුළත අප ඉහත සාකච්ඡා කළ ආකාරයට දරුවා උණ අසනීප තත්ත්වය ට එහා ගිය රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා නම් අප මොහොතකටවත් පමා නොවී දරුවා වෛද්‍යවරයකු වෙත හෝ රෝහලකට ගෙන යෑම ඉතා වැදගත් ය. එනම් දරුවා ක්‍රියාශීලි නැතිනම් , දැඩි මලානික බවකින් පසුවනවා නම් හෝ ඒ ආදී ලක්ෂණ දරුවා කෙරෙන් දිස් නොවූ පැහැදිලි වෙනසක් දිස්වනවා නම් අප ඉහත සාකච්ඡා කළ ලෙස පැරසිටමෝල් ඖෂධය ලබා දෙමින් දරුවාගේ උණ පාලනය කිරීමට උත්සාහ නොකළ යුතු අතර වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් වේ.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඳ වෛද්‍ය හසිත ලියනආරච්චි

– සමුද්‍රිකා වර්ණකුල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT