දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශයක විහාරස්ථානයක් තිබුණේය. එය සාමාන්‍ය පරිදි වත්පිළිවෙත් පවත්වාගෙනගිය පූජනීය ස්ථානයකි. මේ ගමේ සිට විදේශගත වී මුදල් යහමින් උපයාගෙන සිටි දානපතියෙක් ගමට පැමිණි අවස්ථාවක අධිබලැති විදුලි ආලෝක බුබුළු පද්ධතියකින් ඒ විහාරස්ථානය ආලෝකවත් කළේය. මේ ආලෝක රැස් වළල්ල දැකීමෙන් විහාරාධිපති හිමියෝ ද ගමේ දායක සභාව ද ඉමහත් සතුටට පත්වූහ.
ගත වූයේ මාසයක් පමණකි. මාසය අවසානයේ විහාරස්ථානයට දැවැන්ත විදුලි බිලක් ලැබී තිබිණි. මේ විදුලි බිල ගෙවීමට ගමේ දායක සභාවට සම්මාදම් එකතු කරන්න ද සිදුවිය. අවසානයේ සිදුවූයේ විදුලි ආලෝක රැස් මාලාව ගලවා පැත්තකට දමා, සුපුරුදු පරිදි ආගමික වතාවත් සිදු කිරීමටය.
ඉහත කතාව කියන්න සිදුවූයේ පසුගියදා ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් කරන ලද ප්‍රකාශයක් හේතුවෙනි.
රුහුණු කතරගම මහා දේවාලයේ මූල්‍ය අනුග්‍රහයෙන් මහරගම අපේක්ෂා රෝහලට ඇටමිදුළු සහ රුධිරජනන ප්‍රාථමික සෛල බද්ධ කිරීමේ ඒකකයක් විවෘත කිරීමේ අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් කරන ලද ඒ ප්‍රකාශය ඇතැම් විදත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය පාපන්දුවක් බවට පත්කොටගෙන තිබේ.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා ජාතික සැලැස්මක් තිබිය යුතු බවත්, එකී සංවර්ධන සැලැස්ම දීර්ඝකාලීන එකක් විය යුතු බවත්ය. එබැවින් කම්පනය හෝ සානුකම්පිත බව මත ජාතික සංවර්ධන ක්‍රියාවලියට පරිත්‍යාග සිදු කළ නොහැකි බවත්, ඒවා ජාතික සංවර්ධන ක්‍රියාවලිය සමඟ සමපාත විය යුතු බවත් ඔහු එහිදී පැවසීය. එසේ නොවුණහොත් සිදු වන්නේ ජාතික සංවර්ධන සැලැස්මට බාධා පැමිණෙන බව ද, පිටස්තරින් සංවර්ධනයට එකතු කරන කොටස් නිසි නඩත්තුවකින් තොරව අත්හැර දැමීමට සිදු වන සංවර්ධන බාධක බව ද ඔහු පැහැදිලි කළේය.
ජාතික සංවර්ධනය පිළිබඳ මෙකී අදහස නිවැරැදිව අවබෝධ කොට නොගෙන ඒ පිළිබඳ විවේචනාත්මක අදහස් පළකිරීම ප්‍රඥාගෝචර යැයි අපි නොසිතමු.
ශ්‍රී ලංකාව යනු මෙතෙක් ජාතික සංවර්ධන සැලැස්මක් නිසි ලෙස ක්‍රියාත්මක නොවූ රටකි. එබැවින් අවශ්‍යතා සහ ජාතික අභිලාෂ පසෙකලා, දේශපාලනික වුවමනා එපාකම් මත රටේ සංවර්ධන ක්‍රියාවලිය සකස් වූ බවක් හඳුනාගත හැකිය. එහෙයින්ම ගෙවුණු වසර 76 පුරා රටේ සංවර්ධන සැලැස්ම සකස් වූයේ අඩුම තරමේ පාරිසරික ඇගයීමකින් හෝ ශක්‍යතා අධ්‍යයන වාර්තාවකින් පවා තොරවය.
හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, මාගම්පුර වරාය, මත්තල ගුවන් තොටුපොළ, සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය, මහින්දෝදය විද්‍යාගාර ඇතුළු මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරනු ලැබූයේ නිශ්චිත ශක්‍යතා ඇගයීම් වාර්තාවලින් තොරවය. රටකට එවැනි සංවර්ධන අරමුණක් හෝ ඉලක්කයක් අවශ්‍ය යැයි කිසිදු සංවර්ධන විශේෂඥයකු පෙන්වා දී තිබුණේ නැත.
එයට හේතුව එතෙක් ශ්‍රී ලංකාවට නිශ්චිත සංවර්ධන සැලැස්මක් නොපැවතීමයි. හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ජාත්‍යන්තර සමුළු කීයක් පවත්වා ඇතිදැයි අපි ප්‍රශ්න කරමු. මහින්දෝදය විද්‍යාගාර, නිශ්චිත උපකරණවලින් සහ නිසි නඩත්තුවකින් තොරව, බෝඩ් ලෑලි බවට පත්ව ඇති වගට වූ ප්‍රවෘත්ති අප පුවත්පතම අවස්ථා කිහිපයකදීම වාර්තා කොට තිබිණි. එවැනි නිශ්චිත සැලසුමකින් තොරව ආරම්භ කරන ලද ‘සුදු අලි’ ව්‍යාපෘති කොතරම් නම් ශ්‍රී ලංකාව පුරා පවතී ද?
නිශ්චිත ඵලදායිතාවක් නැතිව ජාතික ධනය අපතේ යැවූ එබඳු ව්‍යාපෘති නඩත්තු කරමින්, ඒවාට ‘අනේ අපොයි!’ කියමින් සිටියාට පලක් නැති බවත්, අප රට වහා ජාතික සංවර්ධන සැලැස්මක් සකස් කළ යුතුව ඇති බවත් මෙකී කාරණා නිසා තවදුරටත් පැහැදිලි වේ. එය ආණ්ඩුවෙන් ආණ්ඩුවට හෝ ඇමැතිවරයාගෙන් ඇමැතිවරයාට මාරු විය යුත්තක් නොවේ.
ලෝකයේ දියුණු, සංවර්ධිත රටවල ජාතික සංවර්ධන සැලැස්මට හිතුමතේ බාහිර පුද්ගලයන්ට අංග එකතු කළ නොහැකි අතර, ඒ සඳහා නිශ්චිත ක්‍රමවේදයක් පවතියි. ඒ රටවල ජාතික සංවර්ධන (National Development ) ක්‍රියාවලියට ජාතික අරමුදලක් (National Fund) පවතියි. ඒ සඳහා ආධාර කරන්නෝ පුද්ගල ප්‍රචාරණයක් අපේක්‍ෂා නොකරති. සැලසුම් සියල්ල ජාතික සැලැස්මට අනුව ක්‍රියාත්මක වන අතර, ප්‍රතිලාභ බෙදී යෑම සිදු වන්නේ ද සමාජ සාධාරණත්වය තුළ සමාන අවස්ථා බෙදී යෑම ඔස්සේය. එහිදී පුද්ගල කීර්ති නාමයට වඩා සමස්ත රටේ ජාතික සංවර්ධන පද්ධතිය කෙරෙහි සහ එම දියුණුව කෙරෙහි පමණක් අවධානය යොමු කෙරේ.
අපි දැන් යළිත් ඇමැති නලින්දගේ ප්‍රකාශය දෙසට හැරෙමු. ඔහු සඳහන් කළේ මෙවැනි ජාතික සංවර්ධන සැලැස්මක අවශ්‍යතාව පිළිබඳවයි. රටක් සංවර්ධන සැලසුම් සකස් කළ යුත්තේ ඉදිරි වසර හෝ වසර පහ, දහය ඉලක්ක කොටගෙන නොව, දීර්ඝකාලීන සැලසුම් ක්‍රියාවලියක් ඔස්සේය. ඒ සඳහා වන දැක්ම රජයට තිබිය යුතුය. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එකී කාරණයයි.
එසේ නැතිව, පුද්ගල අභිමතය පරිදි තැන තැන හිතුමනාපේ ගොඩනැඟිලි හෝ සංවර්ධන ඉදිකිරීම් ගොඩගැසීම ජාතික සංවර්ධනය නොවේ.
එබැවින් මතුපිට අර්ථයෙන් ඇමැතිවරයාගේ ප්‍රකාශය තේරුම්ගෙන මාධ්‍ය සංදර්ශන පවත්වන්නන් කෙරෙහි අපට ඇත්තේ කනගාටුවක් පමණකි. එක් අතකට දීර්ඝකාලීන ජාතික සංවර්ධන සැලැස්මක් පිළිබඳ අවබෝධයක් හෝ අවධානයක් නැති පාක්ෂික පුරවැසි ප්‍රජාවකින් සහ දේශපාලනික න්‍යායපත්‍ර මත කටයුතු කරන මාධ්‍යකරුවන්ගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු විය නොහැකිය.
ආණ්ඩුවෙන් ආණ්ඩුවට හෝ ඇමැතිවරයාගෙන් ඇමැතිවරයාට වෙනස් නොවන පරිදි තිරසර ජාතික සංවර්ධන ඉලක්ක මත පදනම් වූ සංවර්ධන සැලැස්මක් සකස් විය යුතුය. එවැනි ජාතික සංවර්ධන සැලැස්මක් පිළිබඳ දළ අවබෝධයක් හෝ ලැබීමට අවශ්‍ය නම්, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 21 වැනි ශත වර්ෂයේ සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ නිකුත් කොට ඇති සහශ්‍රක සංවර්ධන අරමුණු හා ඉලක්ක පිළිබඳ (Millennium Development Goals) වාර්තාව කියවන ලෙස ඉල්ලා සිටිමු. එහි සමස්ත ලෝකයේ සංවර්ධනය පිළිබඳ සැලැස්ම සහ න්‍යායපත්‍රය අඩංගුය. නිශ්චිත කාල සීමාවලදී සපුරාගත යුතු ඉලක්ක සහ අභිමතාර්ථ එහි අන්තර්ගතය.
ශ්‍රී ලංකාවට ද එවැනි වූ ජාතික සංවර්ධන සැලැස්මක් අත්‍යවශ්‍ය වේ. අමාත්‍ය නලින්ද ජයතිස්සගේ කතාවෙහි සංයුක්ත හරය එයයි.