Home » මෙසීගේ ශුද්ධ වත්කම කෝටි 19000ක්
තරු පහේ හෝටල් 7යි: සාප්පු සංකීර්ණ 3යි ජෙට් එකයි: මහල් නිවාස ගොඩයි

මෙසීගේ ශුද්ධ වත්කම කෝටි 19000ක්

by mahesh
January 3, 2025 1:01 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

ලෝක පාපන්දු කිරුළ දිනූ ආර්ජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලයනල් මෙසීගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් මිලියන 650 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 19000ක්) පමණ වෙතැයි ගණන් බලා ඇත.

ස්පාඤ්ඤ කොටස් හුවමාරුවක මෙසීගේ සමාගමට අයිති දේපළ ලැයිස්තුගත කොට ඇති අතර, එහි තරු පහේ හෝටල් 7ක්, සාප්පු සංකීර්ණ 3ක්, ස්පාඤ්ඤයේ මහල් නිවාස පහක් මෙන්ම ලන්ඩන් සහ පැරිසියේ මහල් නිවාස ඇති බව ලේඛන උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. මෙයට අමතරව බාර්සිලෝනා නගරයෙන් පිටත කැස්ටල්ඩෙෆෙල්ස් හි වෙරළබඩ මන්දිරයක් ඇතුළු සුඛෝපභෝගී නිවාස ඇතැයි සඳහන් වේ.

ඔහු සතු කෝටි ගණන් වාහනවලට අමතරව අමෙරිකානු ඩොලර් මිලියන 15ක් වටිනා ගල්ෆ්ස්ට්‍රීම් නම් වූ පුද්ගලික ජෙට් යානයක් ද ඇත. පැයට කිලෝමීටර් 940 දක්වා වේගයකින් පියාසර කිරීමට හැකි මගී ආසන 16ක් සහිත මේ පුද්ගලික ගුවන් යානයේ මුළුතැන්ගෙයක් සහ නාන කාමර දෙකක්ද ඇත.

වත්මන් ඉන්ටර්මියාමි ක්‍රීඩා සමාජ‍ය හා සහ හිටපු බාසිලෝනා පුරාවෘත්තය වූ මෙසී තම සමාගම එඩිෆිසියෝ රෝස්ටවර් (Edificio Rostower) සමූහය ලෙස නම්කොට එහි සභාපති ලෙස පත්ව සිටී. ඔහුගේ බිරිඳ ඇන්ටොනෙල්ලා රොකියුසෝ එම ව්‍යාපාර සමූහ‍යේ උප සභාපති වේ.

ස්පාඤ්ඤ බැංකුව විසින් අධීක්‍ෂණය කරන ලද විකල්ප වෙළඳපොළක් වන පෝර්ට්ෆොලියෝ කොටස් හුවමාරු වෙළෙඳපොළ (Portfolio Stock Exchange) අනුව මෙසීගේ සමාගමේ කොටසක වටිනාකම අමෙරිකානු ඩොලර් 60ක් (ශ්‍රී ලංකා රුපියල් 17538ක්) වන අතර, එය අමෙරිකානු ඩොලර් මිලියන 232.12ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 6785ක) වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට පරිවර්තනය වූ බව රොයිටර් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT