රත්මලාන, ශ්‍රී ඥානේන්ද්‍ර පාර දෙමහල් නිවෙසක උඩු මහලේ කාමරයක පෙරේදා (2) අලුයම 3.00ට පමණ ඇතිවූ හදිසි ගින්නකින් එහි දේපොළ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි දෙහිවල ගල්කිස්ස මහනගර සභා ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ස්ථාන භාර නිලධාරී එල්. සුනන්ද පෙරේරා මහතා පැවසීය.
මෙම ගින්න මෙදින අලුයම 3.00ට පමණ ඇතිවී ඇති බවත්, ගල්කිස්ස පොලීසිය හා අවට නිවැසියන් කළ දැනුම්දීමට අනුව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ස්ථාන භාර නිලධාරී එල්. සුනන්ද පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ ගිනි රථ දෙකක් සමඟ ගිනි භටයන් නව දෙනකු ඉතා කුඩා අඩි තුනක පමණ පිවිසුම් මාර්ගයේ ගොස් දැඩි පරිශ්‍රමයක් දරා ඉහළ මහලේ පැතිරයමින් තිබූ එම ගින්න පාලනය කර ගින්න අවට පැතිරීමෙන් සිදුවීමට තිබූ විශාල විනාශයක් ද වළක්වා ගත් බව ඒ මහතා වැඩිදුරටත් කීය. ඒ වන විටත් නිවැසියන් බිම් මහලේ නිදාෙගන සිට ඇති අතර, අවට නිවැසියන්ගේ කෑගැසීම් හේතුවෙන් අවදි වී එළියට පැමිණ පොලීසිය දැනුම්වත් කර ඇත.
ගින්නට හේතුව හෝ සිදු වූ අලාභය මෙතෙක් ගණනය කර නොමැති අතර, වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස පොලීසිය විසින් සිදු කරනු ලබයි.