Monday, April 21, 2025
Home » මුහුදු පාසි සහ මත්ස්‍ය නිපැයුම්වලට නව තාක්ෂණය: වැඩමුළුවක් තංගල්ලේදී

මුහුදු පාසි සහ මත්ස්‍ය නිපැයුම්වලට නව තාක්ෂණය: වැඩමුළුවක් තංගල්ලේදී

by mahesh
January 3, 2025 1:00 am 0 comment

බුද්ධිකා ඉඹුලාන

මුහුදු පාසි සහ අගය එකතු කළ මත්ස්‍ය නිෂ්පාදන සඳහා නව තාක්ෂණය හඳුන්වාදීමේ දෙදින වැඩමුළුවක් තංගල්ල රැකව නාරා පර්යේෂණ මධ්‍යස්ථානයේදී පසුගියදා සිදු කෙරිණි.

මුහුදෙන් නෙළාගන්නා මත්ස්‍ය සම්පත මෙන්ම මුහුදු පාසි ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන ව්‍යවසායකයන්ට නව තාක්ෂණය හඳුන්වා දී රජය ගෙන යන නිල් ආර්ථික වැඩසටහන අර්ථවත් කිරීම අරමුණින් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ විදාතා ඒකකයේ හම්බන්තොට දිස්ත්‍රික් ඒකක මූල්‍ය ප්‍රතිපාදන මත මේ වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල, අම්බලන්තොට, බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල තෝරාගත් ව්‍යසායකයන් 40ක් සඳහා මේ දෙදින වැඩමුළුව පැවැත්විණි.

මෙහිදී ව්‍යවසායකයන් විසින් දැනටමත් සිදුකරන කරවල, උම්බලකඩ, ඇඹුල්තියල් ආදී නිෂ්පාදන දේශීය හා විදේශීය වෙළෙඳපොළට යැවිය හැකි ආකාරයෙන් නිෂ්පාදනය කිරීම සහ ඒවා සුරක්ෂිතව ඇසුරුම් කරන ආකාරය පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුවක් ලබා දුන් අතර මේ වැඩමුළුවේ දී දුම් කරවල, ජාඩි, ලුණු කරවල, මාළු කේක් ආදිය නිෂ්පාදනය කරගන්නා ආකාරය ගැන ද ව්‍යසායකයන් දැනුම්වත් කෙරිණි. එමෙන්ම ශීත කාලගුණයක් ඇති විදේශීය රටවල් සඳහා අලෙවි කිරීමට හැකිවන පරිදි ලුණු කරවල නිෂ්පාදනය කරගන්නා ආකාරය ගැන විශේෂ පුහුණුවක් ද ලබා දෙන ලදි.

මේ වැඩමුළුවේදී ව්‍යවසායකයන්ගේ ඉල්ලීම වූයේ තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට වෙළෙඳපොළක් සොයාදෙන ලෙසයි. නිසි වෙළෙඳපොළක් නොමැති බැවින් ව්‍යවසායකයන් දැඩි අපහසුතාවට පත්ව සිටින අතර ඒ සඳහා පහසුකම් සලසා දීමට ද කටයුතු කරන ලෙසද ඔවුහු ඉල්ලීමක් කළහ. මෙහිදී සම්පත් දායකත්වයෙන් සම්බන්ධ වූ නාරා ආයතනයේ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය ජීවිකා ගනේගමආරච්චි මෙණවිය අවධාරණය කළේ ඉදිරියේ දී මේ ආශ්‍රිත රැකියාවේ නිරත වන ව්‍යවසායකයන් සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව අදාළ ප්‍රදේශයන්හි දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයන්වල අලෙවි කුටි ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමට අවධානය යොමු කරන බවයි. මෙරට සංචාරක කලාප ආශ්‍රිතව ද මේ නිෂ්පාදන වැඩි වශයෙන් අලෙවි කළ හැකි බව ඇය ප්‍රකාශ කළාය. මේ වැඩසටහනේ සංවිධාන හා මෙහෙයවීම හම්බන්තොට දිස්ත්‍රික් විදාතා ඒකකයේ දිස්ත්‍රික් විදාතා නිලධාරි ටි.ඩබ්ලිව්.කේ. විමලසිරි මහතාගේ අධීක්ෂණ යටතේ සිදු කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT