Tuesday, April 8, 2025
Home » තරුණයා මියගොස් ඇත්තේ හෘදයාබාධයකින්
හල්පිට අවුරුදු සාදයේ අසාත්මික වූ

තරුණයා මියගොස් ඇත්තේ හෘදයාබාධයකින්

by mahesh
January 3, 2025 1:00 am 0 comment

කොට්ටාව - ප්‍රදීප් කුමාර

නව වසර උදාව සමරමින් පැවැත් වූ මත්පැන් සාදයකදී අසාත්මිකතාවකට පත්වීමෙන් රෝහල්ගත කළ තරුණයා හෘදයාබාධයකින් මියගොස් ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බව හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පොල්ගස්ඕවිට, පාලගම, බැද්දවත්තේ පදිංචි කොළඹගේ කසුන් කල්හාර පෙරේරා නමැති (19) හැවිරිදි තරුණයකු බව පොලීසිය කියයි.

මෙම තරුණයා තවත් මිතුරන් දස දෙනකු සමඟ පොල්ගස්ඕවිට හල්පිට ප්‍රදේශයේ නිවෙසකට ගොස් නව වසර උදාව සමරමින් මත්පැන් සාදයක් පවත්වා ඇති අතර සාදය රාත්‍රී 10 සිට අලුයම 3 දක්වා පවත්වා තිබේ. එය අවසානයේදී මිතුරන් හත් දෙනකු ඉන් පිටව ගොස් නිවෙසේ තරුණයා සහ තවත් තරුණයෙන් දෙදෙනකු පමණක් එහි රැඳී සිට තිබේ.

මේ අතරතුරදී එහි සිටි එක් තරුණයකු පෙරේදා (01) අලුයම වමනය කරමින් ක්ලාන්තව බිම ඇද වැටී අසාත්මිකතාවකට පත්ව ඇති බවත් පසුව එහි සිටි මිතුරන් දෙදෙනා ප්‍රතිකාර සඳහා මිතුරා වෑතර දිසා රෝහලට ඇතුළත් කිරීමට යාමේදී මෙසේ මියගොස් ඇති බව පොලීසිය පවසයි.

පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය හෝමාගම මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී මෘත දේහය පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා සිදුකර තිබේ.

පසුව හෝමාගම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි පණීත සෙනවිරත්න මහතා විසින් මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කළ අතර එහිදී ඉදිරිපත් වූ සාක්ෂි සහ මරණ පරීක්ෂණ වාර්තාවට අනුව මත්පැන් පානයෙන් අසාත්මික වූ තරුණයා හෘදයාබාධයකින් මියගිය බවට හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා නිගමනය කර තිබේ.

එහිදී මත්පැන් බෝතලයක් හා ගංජා සුරුට්ටු තුනක් සාදයේදී භාවිත කර ඇති බවට හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇති බව පැවසේ.

මේ අතර තරුණ ළමයි යම් සාදයක් පවත්වද්දී ඔවුන් භාවිත කරන මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පිළිබඳව සොයා බලමින් මීට වඩා දරුවන් කෙරෙහි විමසිලිමත්ව කටයුතු කරන ලෙසට හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා ඥාතීන්ට තරයේ අවවාද කොට තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව පොලීසියේ පො.කො. ජයරත්න (87669) ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ මෙහෙයවූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT