Home » රටේ සමස්ත දරුවන්ට පොදු අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතුයි

රටේ සමස්ත දරුවන්ට පොදු අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතුයි

- අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

by chanaka
January 3, 2025 10:39 am 0 comment

අපේ රජයට අධ්‍යාපනය කියන එක ඉතා වැදගත් විෂයක්. ඒ සඳහා අපේ රජය විශේෂ අවධානයක් සහ ප්‍රමුඛතාවයක් ලබා දෙනවා. පුනරුද යුගයක් වෙනුවෙන් පරිවර්තනයන් සිදු කිරීම තමයි අපේ ආණ්ඩුවේ මූලික අරමුණ. ඒ සඳහා අවශ්‍ය මානව සම්පත නිර්මාණය වන ප්‍රධානම තැන තමයි අධ්‍යාපනය. ඒ නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පළාත් අධ්‍යාපන ප්‍රධානීන් සමග ඊයේ(02) අරලියගහ මන්දිරයේදී පැවති හමුවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය,

“මෙවැනි පරිවර්තනයක් සිද්ධ වෙද්දී අනිවාර්යයෙන්ම අපි එකඟතාවයෙන් සහ අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතුයි. නැත්නම් මෙතන අර්බූදයක් වෙන්න ඉඩ තියෙනවා. අධ්‍යාපනය කියන්නේ හරි සංවේදී මාතෘකාවක්.

පොදු විභාග ක්‍රමය යටතේ විභාගයට මුහුණ දෙන රටේ සමස්ත දරුවන්ට පොදු අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතුයි. පළාතෙන් පළාතට වෙනස් අවශ්‍යතා තියෙන්න පුළුවන් වුනත් ප්‍රතිපත්ති අතර ලොකු පරස්පරයක් තියෙන්න බෑ කියලයි අපිට නම් හිතෙන්නේ. හැබැයි ප්‍රතිපත්ති මට්ටමේ තීන්දු තීරණ අරගද්දී ජාතික මට්ටමේ ප්‍රතිපත්තියට අනුකූලව වැඩ කරන්න අපිට සිද්ධ වෙනවා.

පහේ ශිෂ්‍යත්වය නැති කරන්න කියලා රටේ ජනතාවගේ අදහසක් තියෙනවා. එමගින් දරුවන්ට පීඩනයක් ඇති කරනවා කියල කියනවා. හැබැයි එහෙම තීරණයක් ගන්න කලින් පහේ ශිෂ්‍යත්වය ඇති කරන්න හේතුව බලන්න ඕන නේ. ඒකට හේතුව පාසල් අතර තියෙන පරතරය. පහේ ශිෂ්‍යත්වය අහෝසි කරන්න නම් පාසල් අතර තියෙන ප‍රතරය නැති කරන්න ඕනේ. ප්‍රශ්නයට විසඳුමක් දෙන්නේ නැතුව නෛතික හෝ ප්‍රතිපත්ති තීරණ විතරක් ගත්තොත් රටේ අර්බුද ඇති වෙන්න පුළුවන්. මෙවැනි තත්ත්වයන් අවම කරන්න පොදු විභාග ක්‍රමය යටතේ විභාගයට මුහුණ දෙන දරුවන්ට පොදු අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතුයි. තීරණ ගැනීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමටයි අපි උත්සාහ කරන්නේ. දේශපාලඥයා, අමාත්‍යවරයා හෝ ලේකම්වරයා තනි තීරණ ගන්න එකක් නෙමෙයි මේක, දත්ත මත පදනම්ව තීරණ ගැනීමේ යාන්ත්‍රණයක් සැකසීමටයි අපි උත්සහ කරන්නේ.”

දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා, පෝෂණ වැඩසටහන්, අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ගේ හා ගුරුවරුන්ගේ හිඟය හා වෘත්තීය මට්ටමේ ගුරු පුහුණු වැඩසටහන්වල අවශ්‍යතාවය වැනි ක්ෂේත්‍රවල පළාත් මට්ටමෙන් ඇති ගැටලු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් මෙහිදී යොමුවිය.

මෙම අවස්ථාවට අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව යන මහත්වරුන් , පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන් , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT