Friday, April 18, 2025
Home » ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල 20 වැනිදා ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල 20 වැනිදා ශ්‍රී ලංකාවට

-වසර එකහමාරකට පසු හම්බන්තොටට එක්දින තරගයක්

by sachintha
January 2, 2025 1:14 am 0 comment

සංචාරක ඔස්ට්‍රේලියා පිල හා ශ්‍රී ලංකාව අතර ලබන මස 13 වැනිදා පැවැත්වෙන එකම එක්දින ජාත්‍යන්තර තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

වසර එකහමාරකට අධික කාලයක් හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එක්දින තරග පවත්වා නැති අතර, අවසන් වරට 2023 වසරේ ජූනි මාස‍යේදී ශ්‍රී ලංකාව සහභාගිවූ එක්දින තරගය ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්විණි. මේ ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා එක්දින ජාත්‍යන්තර තරගය දිවා රාත්‍රී ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇත.

දැනට ක්‍රියාත්මක ඉන්දියාව සමඟ ටෙස්ට් තරගාවලිය මේ මස 7 වැනිදා අවසන් වීමෙන් පසු ඔස්ට්‍රේලියානුවෝ කෙටි නිවාඩුවකින් පසු මේ මස 20 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණේ. දෙරට අතර ටෙස්ට් තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, පළමු ටෙස්ට් තරගය මේ මස 29 සිට පෙබරවාරි 2 දක්වා හා 2 වැනි ටෙස්ට් තරගය පෙබරවාරි 6 සිට 10 දක්වා පැවැත්වේ. ඔස්ට්‍රේලියානු පිලේ ඉදිරි සංචාරය ටෙස්ට් තරග දෙකකින් සහ එක්දින ජාත්‍යන්තර තරගයකින් සමන්විත වේ. මේ තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් ටෙස්ට් තරග දෙක බැවින් විශාල අවධානයක් පවතී.

ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර අවසන් වරට 2022 වසරේ ගාල්ලේ පැවති ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයෙන් නිමාවූ අතර, 2016 පැවැති ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය. 1983 වසරේ සිට ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 33ක් පවත්වා ඇති අතර, එයින් 20ක ජය ඔස්ට්‍රේලියාව හා 5ක ජය ශ්‍රී ලංකාව ලබා ඇත. තරග 8ක් විසඳුමකින් තොරව නිමාවට පත් වූවේය.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT