Home » රග්බි නිලවරණයේදී සභාපති ධුරයට ද්වන්ද සටනක්

රග්බි නිලවරණයේදී සභාපති ධුරයට ද්වන්ද සටනක්

-හිටපු සභාපති ලසිතගේ නාමයෝජනාව ප්‍රතික්ෂේපයි

by sachintha
January 2, 2025 1:13 am 0 comment

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ හිටපු සභාපතිවරයකු වන රිස්ලි ඉල්යාස් සහ හිටපු විධායක කමිටු සාමාජිකයකු වන ෆසාල් මොහොමඩ් යන මහත්වරු එළැඹෙන නිලවරණයේදී සභාපති ධුරය සඳහා නාමයෝජනා භාර දී ඇතැයි වාර්තා වේ.

නාමයෝජනා කැඳවීමේ අවසන් දිනය වූ පෙරේදා (31) ෆසාල් මොහොමඩ් මහතාගේ නාමයෝජනාව බස්නාහිර පළාත් සංගමයෙන් ඉදිරිපත් කර ඇති අතර, ඌව පළාත් සංගමය එම යෝජනාව ස්ථීර කර තිබේ.

මීට අමතරව මධ්‍යම පළාත් සංගමයෙන් ඉදිරිපත් කළ රිස්ලි ඉල්යාස්ගේ නාමයෝජනාව උතුරුමැද පළාත් සංගමයෙන් ස්ථීර කර ඇතැයි ද වාර්තා වේ. මේ අතර හිටපු සභාපතිවරයකු වන ලසිත ගුණරත්න මහතාගේ නාමයෝජනාව ද සභාපති ධුරය සඳහා ඉදිරිපත් වී ඇති අතර, එය ඉදිරිපත් කළ සබරගමුව පළාත් සංගමයත්, එම යෝජනාව ස්ථීර කළ වයඹ පළාත් සංගමයත් වසර 2024 සඳහා රග්බි ආයතනයේ සාමාජික මුදල් ගෙවා නැති බව තහවුරු වීමෙන් රග්බි ආයතනයේ ව්‍යවස්ථාවට අනුව එම යෝජනාව ප්‍රතික්ෂේප වී ඇතැයි වාර්තා වේ. මීට අමතරව නියෝජ්‍ය සභාපති ධුරය සඳහා රොෂාන් ඩීන් මහතාගේ නාමයෝජනාව බස්නාහිර පළාත් සංගමයෙන් ඉදිරිපත් කර ඇති අතර, ඌව පළාත් සංගමය එම යෝජනාව ස්ථීර කර ඇතැයි වාර්තා වේ. නියෝජ්‍ය සභාපති ධුරය සඳහා ජාතික රග්බි තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයකු වන රොහාන් අබේකෝන් මහතාගේ නාමයෝජනාව ද ඉදිරිපත් වී ඇති අතර, එය ඉදිරිපත් කළ සබරගමුව පළාත් සංගමය මෙන්ම ස්ථීර කළ දකුණු පළාත් සංගමය ද 2024 වසරේදී සාමාජික මුදල් නොගෙවීම තහවුරු වීමෙන් රග්බි ව්‍යවස්ථාවට අනුව අබේකෝන් මහතාගේ නාමයෝජනාව ද ප්‍රතික්ෂේප වූ බව වාර්තා වේ.

රග්බි නිලවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ජී.එස්.එදිරිසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල නිලවරණ කමිටුවේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එහිදී උපසභාපති ධුරය සඳහා එස්.ඩබ්. චැංග්, ලේකම් ධුරය සඳහා වරුණ ද සිල්වා සහ භාණ්ඩගාරික ධුරය සඳහා ඒ.එච්.එම්. රියාස් මහත්වරුන්ගේ නාමයෝජනා ඉදිරිපත් වී ඇති අතර, සභාපති ධුරය හැර සෙසු නිලධාරීන් නිතරගයෙන් පත්වනු ඇතැයි ද වාර්තා වේ.

රග්බි නිලවරණය මේ මස 21 වැනිදා පැවැත්වීමට නියමිතය.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT