Home » පැතුම් විස්සයි20 හොඳම පිතිකරුවන් 5 අබියස

පැතුම් විස්සයි20 හොඳම පිතිකරුවන් 5 අබියස

by sachintha
January 2, 2025 1:10 am 0 comment

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව පියවර 3ක් ඉහළට එමින් 6 වැනි තැන අත්කර ගැනීමට පැතුම් නිශ්ශංක සමත්ව සිටී. විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල සිය හොඳම ස්ථානය හිමිකරගත් පැතුම් ශ්‍රේණිගත ලකුණු 715ක් ලබාගෙන ඇත්තේ සිය ශ්‍රේණිගත දිවියේ ඉහළම ලකුණු ලෙසිනි. ලොව හොඳම විස්සයි20 පිතිකරුවන් 5 දෙනා අතරට එක්වීමට පැතුම්ට අවශ්‍යව ඇත්තේ තවත් ශ්‍රේණිගත ලකුණු 2ක් පමණි.

ඔහුට ඉහළින් සිටින එංගලන්තයේ ජොස් බට්ලර් (5) ලබාගෙන ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 717කි.

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලියේ මුල් තරග දෙකේ දැක්වූ දස්කම් මත පැතුම් මේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට ගොස් ඇති අතර, මින් පෙර පැතුම්ට ඉහළින් සිටි බාබර් අසාම්, යශෂ්වි ජයිස්වාල් සහ මොහොමඩ් රිස්වාන් පිළිවෙළින් 7, 8 සහ 9 වැනි ස්ථානවලට පත්ව ඇත. මුල් පිතිකරුවන් 5 දෙනා අතර වෙනසක් සිදුව නැති අතර, 11 වැනි තැන සිටි කුසල් මෙන්ඩිස් ද එම ස්ථානයේම රැඳී සිටී. කුසල් ජනිත් පෙරේරා ස්ථාන 5ක් ඉදිරියට යමින් 36 වැනි තැන සිටින අතර, චරිත් අසලංක (40) එක් ස්ථානයක් පහත වැටී ඇත.

විස්සයි20 පන්දු යවන්නන්ගේ මුල් ස්ථාන අටේ වෙනසක් සිදුව නැති අතර, වනිඳු හසරංග (3) සහ මහීෂ් තීක්ෂණ (5) එම ස්ථානවලම සිටියදී නවසීලන්තයේ මිචෙල් සැන්ට්නර් ස්ථාන 5ක් ඉදිරියට පැමිණ 9 වැනි තැන අත්කර ගෙන තිබේ. මතීෂ පතිරණ (26) ස්ථාන 5ක්, නුවන් තුෂාර (35) ස්ථාන 13ක් ඉදිරියට යද්දී බිනුර ප්‍රනාන්දු ස්ථාන 52ක් ඉදිරියට පැමිණ 83 වැනි තැන අත්කරගෙන ඇත.

විස්සයි20 තුන් ඉරියව් ක්‍රීඩකයන් අතරේ වනිඳු හසරංග (6) ස්ථාන 2ක් පහළට වැටී ඇති අතර, මොහොමඩ් නබි 5 වැනි තැනට පත්ව ඇත.

ටෙස්ට් පිතිකරුවන් අතරේ කමිඳු මෙන්ඩිස් (8) ස්ථාන 2ක්, දිනේෂ් චන්දිමාල් (13) සහ ධනංජය ද සිල්වා 914) ස්ථානයක් බැගින් පහළට වැටෙද්දී, ප්‍රභාත් ජයසූරිය (8) පන්දු යවන්නන් අතරේ ස්ථානයක් පහතට වැටී තිබේ.

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT