වගකීම යන්නට යෙදෙන ඉංග්‍රීසි වචනය Responsibility වේ. එහි තේරුම නම් කෙනකුට තමන්ගේ රාජකාරි සීමාව තුළ පැවරෙන නිශ්චිත රාජකාරි කොටස යන්නයි. එය පවරන ලද වගකීමකි. රාජකාරි සීමාව තුළ කෙනකුට පවරන ලද වගකීම ඊට ඉහළ නිලධාරියකුට සොයා බැලිය හැකිය. වගකීම පැහැර හැරියහොත් එයට නීත්‍යනුකූලව කටයුතු කළ හැකිය.
වගවීම යන්නට යෙදෙන ඉංග්‍රීසි වචනය Accountability වේ. එය නිශ්චිත රාජකාරි කොටසක් නොවුණත්, තමාට එය ඉටු කිරීම සඳහා හෘදයසාක්ෂියෙන් ඇති කරගන්නා ලද බැඳීමක් ලෙස හැඳින්විය හැකිය. මෙය එක්තරා අන්දමක තමන්ට නොපැවරුණු වගකීම් ඉටු කිරීමක් ලෙස ද හැඳින්විය හැකිය.
ඉහත කාරණා පිළිබඳ ලිවීමට සිදු වූයේ Clean Sri Lanka වැඩසටහන ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ කතාව හේතුවෙනි. එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ රාජ්‍ය නිලධාරීන්ට පමණක් නොව, පුරවැසියන්ට ද මෙකී සාමූහික කාර්යය ඉටු කිරීමේදී වගකීමක් මෙන්ම වගවීමක් ද පැවරෙන බවයි;
ශ්‍රී ලාංකේය ජන සමාජය ඉතා දීර්ඝ කාලාන්තරයක් තිස්සේ ස්වකීය පදනම සහ අත්තිවාරම බිඳවැටුණු රාජ්‍යයක් හෙයින් සමස්ත රාජ්‍ය ක්ෂේත්‍රයම ගොඩනැඟීමට ශක්තිමත් පදනමක් අවශ්‍ය බව ජනපතිවරයා කීය.
ගරාවැටුණු සමාජ දේහය, මාතෘ භූමිය යළි ප්‍රතිස්ථාපනය කිරීමට ප්‍රධාන අරමුණු තුනක් කේන්ද්‍ර කරගෙන කටයුතු කරන බව ද ජනාධිපතිවරයා එහිදී පැවසීය. දුප්පත්කමින් පුරවැසියන් මුදාගැනීම, ආර්ථික ප්‍රතිලාභ ගමට ගෙනයන ක්‍රමයක් නිර්මාණය කිරීම, සමස්ත රටම ඩිජිටල්කරණයට ලක් කිරීම මඟින් පුරවැසියා සහ රාජ්‍යය අතර ඍජු සම්බන්ධතාවක් ගොඩනැඟීම ඒ අතරින් ප්‍රමුඛතම කාර්යයක් වන්නේය.
Clean Sri Lanka පරිසර පද්ධතිය පිරිසුදු කිරීමක් පමණක් නොවන බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.
අල්ලස හා දූෂණය පිළිකාවක් ලෙස මුළුමහත් රාජ්‍ය පද්ධතිය පුරා පැතිරී ඇති බවත්, දූෂණය හා වංචාව නතර කිරීමට දේශපාලන අධිකාරියේ මැදිහත්වීම හා ආදර්ශය පමණක් ප්‍රමාණවත් නොවන බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය. එබැවින් මේ වැඩපිළිවෙළ තවත් පක්ෂයක හෝ කණ්ඩායමක වැඩපිළිවෙළක් නොව සමස්ත පුරවැසි සමාජයේම වැඩපිළිවෙළක් බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ඒ සඳහා සියලු දෙනාට සාමූහික වගකීමක් පැවරෙන හෙයින් එකී වගකීම හා වගවීම ඉටු කරන ලෙස ද ඔහු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
මේ වැඩපිළිවෙළට නායකත්වය සපයන ජනාධිපති කාර්යසාධක බළකායේ 18 දෙනා කිසිදු මුදලක් අය නොකොට පොදු ජනතා සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට නියමිතය. එය මීට පෙර නොතිබුණු ආදර්ශයකි.
මෙතෙක් කලක් රාජ්‍ය දේශපාලනික ක්ෂේත්‍රයේ පැවතියේ පොදු වැඩ කර, ලාභය හෝ කොමිස් මුදල සාක්කුවේ දමා ගන්නා ක්‍රමවේදයකි. එහෙත් Clean Sri Lanka වැඩසටහනට නායකත්වය සපයන මුල්පෙළේ සියලු දෙනා ඊට වඩා වෙනස් සමාජ ආදර්ශයක් සපයා තිබේ.
සත්තකින්ම මෙය මෙතෙක් කලක් නොතිබුණු, නොඅසා තිබුණු වර්ගයේ වැඩසටහනකි. නිශ්චිත මාර්ග සිතියමකින් යුතු වැඩසැලස්මකින් යුතු වැඩසටහනකි. පවතින සමාජ දේහය වෙනස් කොට පිරිසුදු කළ යුතු බව අප සැම පිළිගන්නා කරුණකි.
ජනාධිපතිවරණයේදී මෙරට ජනතාව ස්වකීය ඡන්දය භාවිත කොට විධායකය පිරිසුදු කොට දුන්නේය. සාම්ප්‍රදායික වලව් පෙළැන්තියේ රාජ්‍ය නායකත්වය පීඩිත ග්‍රාමීය සමාජයේ අයකු අතට මාරු කළේය. මහමැතිවරණයේදී ජනතාව ව්‍යවස්ථාදායකය පිරිසුදු කොට දුන්නේය. එතෙක් ප්‍රභූ දේශපාලන පන්තියකට පමණක් අයත්ව තිබූ පාර්ලිමේන්තුව නිර්ප්‍රභූ දේශපාලනයකට මාරු කොට දුන්නේය.
ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී හා පළාත් සභා මැතිවරණවලදී ද එම ආයතන පිරිසුදු කොට ජනතා අයිතීන් බවට පත් කරන බවට විශ්වාසයක් අප තුළ පවතියි. එසේනම් දැන් ඇත්තේ සමස්ත යන්ත්‍රණයම පිරිසුදු කොට, ජනතාව ඉල්ලූ සැබෑ නායකත්වයේ වෙනස උදා කර දීමයි.
මෙය දීර්ඝ නිශ්චිත ක්‍රියාකාරකමකි. එය කෙටිකාලීන වැඩසැලැස්මක් නොවන බව ජනපතිවරයා සඳහන් කළේ එහෙයිනි. ඒ සඳහා වන නිශ්චිත වැඩසැලැස්මක් පවතියි. දැන් ඇත්තේ එයට ජනතා සහභාගිත්වය ගැනීමයි.
චීනයේ අසහාය නායක මා ඕ සේතුං, චීන සංවර්ධන සැලැස්ම සකස් කිරීමේදී එහි ප්‍රමුඛතම වගකීම පැවරුවේ රටේ තරුණ ප්‍රජාවටය. ඔවුන් චීනයේ අස්සක් මුල්ලක් නෑර ගොස් ජනතා ගැටලු හඳුනාගෙන, ඔවුන්ගේ දෘෂ්ටිකෝණයෙන් රජයට ඉදිරිපත් කළේය. ප්‍රජාවගේ ගැටලු, ප්‍රජාවගේ දෘෂ්ටිකෝණයෙන් ඉදිරිපත් කිරීම නිසා එයට විසඳුම් දීමට රාජ්‍යයට ඉතා පහසු විය.
බලය හා වගකීම විමධ්‍යගතකරණයේදී ලැබූ සුවිශේෂ වරප්‍රසාදය එයයි. ජනතා ප්‍රතිවිරෝධයෙන් තොරව ජනතා ගැටලු විසඳා ගැනීම නිසා චීනයට මානව සම්පතින් උපරිම ප්‍රයෝජන ගතහැකි වූවා පමණක් නොව, භෞතික සම්පත ද ඵලදායක ලෙස භාවිත කිරීමට හැකියාව ලැබිණි.
එහෙයින් ජනපතිවරයා ප්‍රමුඛ රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන Clean Sri Lanka වැඩසටහන, චීනය ගොඩනඟා ගැනීමට භාවිත කළ ආකෘතිකමය වැඩසටහන සමඟ සමපාත බව අපි කල්පනා කරමු.
“ජනතාව වෙතට යන්න. ඔවුන් සමඟ ජීවත් වෙන්න. ඔවුන්ගේ ප්‍රශ්න හඳුනාගන්න. විසඳුම ද ඔවුන් වෙතින් හඳුනා ගන්න.Óඅවසානයේ චීනය, සමස්ත ලෝකයම ජය ගැනීමට මේ වැඩසටහන සමත් විය.
Clean Sri Lanka වැඩසටහන බිම් මට්ටම දක්වා සමාජගත කොට සියලු පුරවැසි දායකත්වය ගෙන දූෂණ, වංචා, අක්‍රමිකතා පිටු දැක, ජනතාව ප්‍රාර්ථනා කළ නිදහස් ශ්‍රී ලංකාව ගොඩනඟා ගැනීමට දායක වන්නේ නම් එය ඉතා ප්‍රශස්ත කටයුත්තකි. එහෙයින් 2025 නව වසරේ සමස්ත රාජ්‍ය නිලධාරීන් විසින් කියවන ලද Clean Sri Lanka ප්‍රතිඥාවේ ද සංයුක්ත හරය එයයි. එයට සමස්ත පුරවැසි ප්‍රජාවගේ ද දායකත්වය ජනපතිවරයා ඉල්ලා සිටියේය.
එබැවින් මෙකී සමස්ත වැඩපිළිවෙළ පිළිබඳ අපි බලාපොරොත්තු පළ කරමු. එය ඉකුත් මැතිවරණ දෙකකදී ජනතාව විසින් පළ කරන ලද බලාපොරොත්තුවලට පණදීමක් වන්නේය. මේ වැඩසටහනේ කෙටිකාලීන සහ දිගුකාලීන වැඩසටහන්වලට මාධ්‍යයක් ලෙස අපගේ සහයෝගිතාව ද පළ කර සිටිමු. මන්ද යත්: අවසාන සාමූහික ක්‍රියාවලියේදී අපි ද එහි සාඩම්බර කොටස්කරුවන් වන බැවිනි.