Home » ශ්‍රී ලාංකේය ක්‍රීඩාවේ තහනම් උත්තේජක භාවිතය අඩුවෙයි

ශ්‍රී ලාංකේය ක්‍රීඩාවේ තහනම් උත්තේජක භාවිතය අඩුවෙයි

-මේ වසරේ පරීක්ෂණ 160කින් ධනාත්මක සාම්පල 3යි

by sachintha
December 31, 2024 1:21 am 0 comment

ගෙවීයන 2024 වස‍ර තුළදී ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය (SLADA) රුපියල් කෝටියක පමණ වියදමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 160කගේ තහනම් උත්තේජක පරීක්ෂණ සිදුකර ඇති අතර, එයින් තිදෙනකුගේ සාම්පල පමණක් ධනාත්මක විය. මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 35ක පමණ හා ක්‍රිකට් ක්‍රීඩකයන් 20කගේ පමණ තහනම් උත්තේජක පරීක්ෂා සිදුකොට ඇති අතර, එය මේ වසරේ පරීක්ෂණ සිදුකළ වැඩිම ක්‍රීඩා වේ.

එයට අමතරව බර ඉසිලීම, පිහිනුම් හා නෙට්බෝල් වැනි ක්‍රීඩාවල අහඹු මුත්‍රා සාම්පල පරීක්ෂාව සිදු කිරීමට ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය කටයුතු කොට ඇත.

මේ වසරේ තහනම් උත්තේජක හා සම්බන්ධ නීති උල්ලංඝනය කිරීම්වලදී කොකේන් භාවිත කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට මාස 3ක තහනමක් පැනවූ අතර, නෙට්බෝල් ක්‍රීඩිකා සෙමිණි අල්විස්ට ඇනබොලික් ස්ටෙරොයිඩ් භාවිත කිරීමේ චෝදනා මත වසර 4ක තහනමක් පැනවිණි. සැල්බිටෝල් නම්වූ තහනම් උත්තේජක සම්බන්ධ‍ෙයන් බොක්සිං ක්‍රීඩක දිල්සර හෙට්ටිආරච්චිට චෝදනා එල්ල වූ අතර තවමත් දඬුවම තීරණය වී නැත. මෙලෙස පැනවෙන දඬුවම් හුදෙක් තරග තහනමක් පමණක් නොවන අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආශ්‍රය කිරීම, පුහුණුවීම ඇතුළු ක්‍රීඩාව හා සම්බන්ධ කිසිදු කටයුත්තක නිරත විය නොහැකි ආකාරයේ තහනමකි.

2023 වසරේ තහනම් උත්තේජක භාවිත කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4 දෙනෙක් දඬුවම් ලැබූ අතර, 2022 වසරේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5කට දඬුවම් ලබා දී ඇත. එබැවින් මේ වසරේදී තහනම් උත්තේජක භාවිතය අවම මට්ටමක පවතී. එයට ප්‍රධානතම හේතුව තහනම් උත්තේජක භාවිතය සම්බන්ධ දැනුම්වත් කිරීම් බව ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ශිරෝමි පිලපිටිය මහත්මිය පැවසුවාය. විශ්වවිද්‍යාල මට්ටමින් විවිධ වැඩමුළු හා පාසල් මට්ටමේ දැනුම්වත් කිරීම් මෙන්ම ක්‍රීඩා සංගම් හරහා ලබා‍‍ දෙන අවබෝධය හේතුවෙන් ශ්‍රී ලාං‍කේය ක්‍රීඩා ක්ෂේත්‍ර‍ෙය් තහනම් උත්තේජක භාවිතය අඩුවී ඇතැයි පිලපිටිය මහත්මිය සඳහන් කළාය.

තහනම් උත්තේජක යනු මොනවාද? එම උත්තේජක භාවිතයෙන් සිදුවන හානි හා වැළකී සිටීමේ වැදගත්කම මේ වසරේ සිට පාසල් විෂය මාලාවට ඇතුළත්කොට ඇති බැවින් ගුරුවරුන් 500කට වැඩි පිරිසකට පුහුණුව ලබා දීමට ද පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ සභාපති ලෙස වසර 13ක් සේවය කළ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වූ අතර, විනයවත් පිරිසිදු ක්‍රීඩාවක් පවත්වා ගැනීම උදෙසා ඒ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේය. උත්තේජක මර්දන නියෝජ්‍යායතනය ලෙස ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) යටතේ පවතින තරගාවලිවල තහනම් උත්තේජන පරීක්ෂා ලබා දීමට එකඟවී ඇත. වසර 2013දී තහනම් උත්තේජක මර්දන පනත පාර්ලිමේන්තුවේ සම්මත වූ අතර, එය ජාත්‍යන්තර ප්‍රජාවගේ පැසසුමට ලක්විය.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT