Tuesday, April 8, 2025
Home » දුර්වල පිතිකරණය ශ්‍රී ලංකාව කලින්ම තරගාවලි පරාජයට ඇද දමයි
අවසන් කඩුලු 7 ලකුණු 14කට බිඳවැටේ

දුර්වල පිතිකරණය ශ්‍රී ලංකාව කලින්ම තරගාවලි පරාජයට ඇද දමයි

by sachintha
December 31, 2024 1:20 am 0 comment

ලකුණු 14ක් තුළ අවසන් පිතිකරුවන් 7 දෙනා දැවී යමින් පිට පිට දෙවැනි වරටත් මැද පෙළ පිතිකරුවන් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාසය හේතුවෙන් සත්කාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ මවුන්ට් මවුන්ගනු නුවර බේ ඕවල් ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති දෙවැනි විස්සයි20 තරගය ලකුණු 45කින් පරාජය වීමට සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිදු විය.

මේ සමඟ තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස ජය ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායමට හැකි විය.

පිට පිට දෙවැනි වරටත් කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංකගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 186ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිලට ඕවර 19.1කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 141ක් පමණි.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේදී පළමු තරගයේ ශතක සබඳතාවක් ගොඩනැඟූ පළමු කඩුල්ලේ සබඳතාව ඊයේ ලකුණු 32කට සීමා වූයේ කුසල් මෙන්ඩිස් ලකුණු 10කට දැවීයෑමෙනි. කෙසේ වෙතත් පැතුම් නිස්සංකට එක් වූ කුසල් පෙරේරා මුළු ලකුණු සංඛ්‍යාව 71 දක්වා ඉදිරියට ගෙන ගිය අතර, පැතුම්ගේ ඉනිම ලකුණු 37කටත්, කුසල් පෙරේරාගේ ඉනිම ලකුණු 48කටත් සීමා කිරීමට පළමු තරගයේ වීරයා වූ ජෙකොබ් ඩෆී සමත් විය. කුසල් පෙරේරා සිවුවැනි කඩුල්ල ලෙස දැවීයන විට මුළු ලකුණු සංඛ්‍යාව 127ක් වූ අතර, ඒ සමඟ ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ආරම්භ විය. කුසල් පෙරේරා ද සමඟ අවසන් කඩුලු 7 ලකුණු 14ක් තුළ දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. සිය විස්සයි20 තරග දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කළ ඩෆී ලකුණු 15කට කඩුලු 4ක් දවාගත් අතර, මිචෙල් සැන්ට්නර් සහ මැට් හෙන්රි කඩුලු 2 බැගින් දවා ගත්හ.

නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 13කදී බිඳ වැටුණද ආරම්භක පිතිකරු ටිම් රොබ්සන් සමඟ එක්වූ මාර්ක් චැප්මන් පන්දු 41කින් ලකුණු 69ක සබඳතාවක් ගොඩනඟමින් ඉනිම ශක්තිමත් කළේය. රොබ්සන් පන්දු 34කින් ලකුණු 41ක් සහ චැප්මන් පන්දු 29කින් ලකුණු 42ක් රැස් කළ අතර, මුළු ලකුණු 122දී සිවුවැනි කඩුල්ල අහිමි වීමෙන් පසු පිටියට පිවිසි මිචෙල් හේ පන්දු 19කදී නොදැවී වේගවත් ලකුණු 41ක් රැස් කරමින් ලකුණු පුවරුව 186 දක්වා ඉදිරියට ගෙන ගියේය. තරගයේ වීරයා සම්මානය ද දිනාගත් හේ හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් එල්ල කළ අතර, මුහුණ දුන් අවසන් පන්දු 12න් ලකුණු 34ක් ඉනිමට එක් කළේය. පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

දෙපිල අතර තෙවැනි සහ අවසන් විස්සයි20 තරගය ලබන මස 2 වැනිදා මෙරට වේලාවෙන් උදෑසන 5.45ට නෙල්සන් නුවර සැක්ස්ටන් ඕවල් පිටියේදී පැවැත්වේ.

නවසීලන්තය – 186/5 (ඕවර 20) මාර්ක් චැප්මන් 42, ටිම් රොබ්සන් 41, මිචෙල් හේ නොදැවී 41, ග්ලේන් පිලිප්ස් 23, ඩැරල් මිචෙල් 18 (වනිඳු හසරංග 28/2, නුවන් තුෂාර 25/1, මතීෂ පතිරණ 37/1)

ශ්‍රී ලංකාව – 141 (ඕවර 19.1) කුසල් පෙරේරා 48, පැතුම් නිස්සංක 37, චරිත් අසලංක 20, කුසල් මෙන්ඩිස් 10 (ජෙකොබ් ඩෆී 15/4, මිචෙල් සැන්ට්නර් 22/2, මැට් හෙන්රි 31/2, සකාරි ෆෝක්ස් 27/1, මයිකල් බ්‍රේස්වෙල් 30/1)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT