යම්කිසි පිපිරීමක් යැයි කුරුණෑගල පැතිර ගිය භීතිය පිපිරීමක් නොව නගර සභා ට්‍රැක්ටරයෙන් තණකොළ කැපීමේදී එහි තලයක් කැඩීගොස් ඒ අසල තහඩු වහලයකට වැදී නැවත මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයකුගේ වැදීමෙන් තුවාල වීමක් බවට පොලිස් මූලික විමර්ශනවලදී තහවුරු වී තිබේ.
මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ ඊයේ (30) හවස කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණය අසලින් මෝටර් සයිකලයකින් ගමන් කරමින් සිටි වැල්ලව ප්‍රදේශයේ පුද්ගලයකුය.
අදාළ පුද්ගලයා වෙලගෙදර ක්‍රීඩාංගණය අසලින් ගමන් කරමින් සිටියදී ඔහුගේ එක් අතකට යමක් වැදීමෙන් තුවාල සිදුවී බයිසිකලය පෙරළීමත් සමඟ මෙය යම්කිසි පිපිරීමක් යැයි ප්‍රදේශයේ රාවයක් පැතිරිණි.
තුවාල ලැබූ පුද්ගලයා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට අවට සිටි පුද්ගලයන් කටයුතු කර ඇති අතර, සිද්ධිය වූ ප්‍රදේශය දැඩි විමර්ශනයකට ලක් කිරීමට කුරුණෑගල පොලිසිය කටයුතු කර තිබේ.පොලිස් මූලික විමර්ශනවලදී තහවුරු කරගෙන ඇත්තේ කුරුණෑගල නගර සභාව සතු ට්‍රැක්ටරයකින් මාලිගා පිටියේ තණකොළ කපමින් සිටියදී එහි තලයක් කැඩී ගොස් යාබද වහලයට වැදී පාරේ ගමන් කරමින් සිටි එම පුද්ගලයාගේ වැදී ඇති බවටයි.
විශාල ශබ්දයක් ඇසී කපුටන් ඉගිළී යාම නිසා යම් පිපිරීමක් සිදු වූවාදැයි මෙම රාවයට හේතු වී ඇතැයි පොලිසිය සැක කරයි.
තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. සිද්ධිය පිළිබඳව කුරුණෑගල පොලිසියේ අපරාධ වීමර්ශන ඒකකය විමර්ශනය කරනු ලබයි.
කුරුණෑගල – කුමාරි දිසානායක කුරුණෑගල අතිරේක පුෂ්පකුමාර ජයරත්න