Home » 2025 නව වසරේ චීනයේ බලාපොරොත්තුව

2025 නව වසරේ චීනයේ බලාපොරොත්තුව

by chanaka
December 31, 2024 10:00 pm 0 comment

එළඹෙන 2025 වසරේ ලෝකයට ජයග්‍රාහී අනාගතයක් නිර්මාණය කිරීම සදහා සියලු රටවල් සමග එක්ව මිත්‍රශීලීව කටයුතු කරන බව චීනය පවසයි.

2025 නව වසර උදාවීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං, චීන මාධ්‍ය සමූහය සහ අන්තර්ජාලය ඔස්සේ නව වසරේ සුබ පැතුම් පණිවුඩය නිකුත් කරමින් මේ බව සදහන් කර සිටියි.

චීන ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවුඩයෙන් 2024 වසරේ චීනය හා ලෝකයේ තත්වය සාරංශ කර ඇත. සැම දෙනාගේම සියලුම අපේක්ෂාවන් ඉෂ්ට වේවා යැයිද සියල්ලන්ම සතුටින් හා සුසංගතයෙන් ජීවත් වේවා යැයි ද හෙතෙම එහිදී ප්‍රාර්ථනා කර සිටියේය.

දෙස් විදෙස් විපර්යාසවලින් එල්ලවූ බලපෑම්වලට සක්‍රියව ප්‍රතිචාර දක්වමින් ප්‍රතිපත්ති මාලාවකින් ඉහල ගුණාත්මක සංවර්ධනය ස්ථිර ලෙස ඉදිරියට ගෙන යාමට චීනය සමත් විය. ආර්ථිකය අඛණ්ඩ ප්‍රකෘතිමත් ප්‍රවණතාවක පවතින අතර වසරේ චීන දළදේශීය නිෂ්පාදිත වටිනාකම යුවාන් ට්‍රිලියන 130ක් ඉක්මවා ගොස් ඇති අතර ධාන්‍ය අස්වනු ධාරිතාව ටොන් කෝටි 70ක් ළඟා වූ බව හෙතෙම සඳහන් කළේය.

මෙම වසරේ රටේ විවිධ ප්‍රදේශ නිරීක්ෂණය කරමින් තමා ජන ජීවිතයේ මනරම් විවිධත්වයන් දුටු බව ෂී ජින් පිං මහතා පැවසීය. පවුල් කටයුතු, ජාතික කටයුතු මෙන්ම ලෝකයේ කටයුතු තුළින්, ජනතාවට වඩාත් සුවපහසු ජීවිතයක් අත්කර දීම ප්‍රධානතම කටයුත්ත යැයි ද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියි.

විපර්යාස හා ගැටුම්වලින් සපිරි වත්මන් ලෝකයේ, වගකියන දැවැන්ත රටක් වශයෙන්, චීනය ගෝලීය පාලන ප්‍රතිසංස්කරණ හා ගෝලීය දකුණේ සහයෝගතාව සක්‍රියව ඉදිරියට මෙහෙයවමින් සිටින බව ෂී ජින් පිං සඳහන් කළේය.

ලෝකයේ සියවස් විපර්යාසය වේගයෙන් සිදු වෙමින් පවතී. සාමූහික ආකල්පයකින් ගැටුම් විසඳා ගෙන, මානවයාගේ ඉරණම කෙරෙහි ගැඹුරු හැඟීමෙන් යුතුව අවධානය යොමු කළ යුතුය. ලෝකයේ ජයග්‍රාගී අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීනය විවිධ රටවල් සමඟ එක්ව මිත්‍ර සහයෝගිතා ක්‍රියාවට නංවන්නෙකු, අන්‍යෝන්‍ය ශිෂ්ටාචාර අධ්‍යයනය ප්‍රවර්ධකයෙකු සහ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීමට සහභාගි වන්නෙකු ලෙසට ක්‍රියා කිරීමට කැමැත්තෙන් සිටින බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT