පුද්ගලයන් 179 දෙනකුට මරු කැඳවමින් පසුගියදා දකුණු කොරියාවේ මුවාන් ගුවන්තොටුපොළේදී අනතුරට ලක්වී ගිනිබත් වූ ජේජු ගුවන් සේවයට අයත් ගුවන් යානයේ සුන්බුන් අතුරින් ‘කළු පෙට්ටිය‘ සහ හඬපට සොයාගෙන ඇති අතර, අනතුරට හේතුව අනාවරණය කරගැනීමට මාසයක පමණ කාලයක් ගතවනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. බෝයිං 737-800 වර්ගයට අයත් එම ගුවන් යානයේ නඩත්තු කටයුතු නියමිත ආකාරයෙන් සිදුවූ බවත්, අනතුරට හේතුවී ඇත්තේ හදිසි ආපදා තත්ත්වයක් විය හැකි බවත් ජෙජු ගුවන් සමාගමේ කළමනාකාරීත්වය නිවේදනය කර ඇතැයි ද වාර්තා වේ.
කුරුලු රංචුවක් යානයේ තටු අතර ගැටීමෙන් අනතුර සිදුවූ බවට සහ ගොඩබැස්වීමේ ගියරය අක්‍රිය වූ බවට පළවන වාර්තා මෙතෙක් තහවුරු වී නැති බවත්, දකුණු කොරියානු රජය මගින් සිදු කරනු ලබන විධිමත් පරීක්ෂණයෙන් පසුව අනතුරට සැබෑ හේතුව හෙළිදරව් වනු ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මේ ඛේදවාචකය වෙනුවෙන් දකුණු කොරියාවේ දින 7ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇතැයි එරට මාධ්‍ය සඳහන් කළේය.
මියගිය පුද්ගලයන් අතර කාන්තාවන් 85 දෙනකු සහ පිරිමි පුද්ගලයන් 84 දෙනකු සිටි බවත්, අඩුම වයසැති පුද්ගලයා අවුරුදු 3ක දැරියක බවත් දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේය. මිය ගිය අය අතුරින් මළසිරුරු 65ක් හඳුනාගෙන ඇති අතර, බොහෝ මළසිරුරු හඳුනාගත නොහැකි ආකාරයෙන් පිලිස්සී ඇතැයි ද වාර්තා වේ.