සමනලයාගේ ජීවන චක්‍රය පිළිබඳව අප ඉගෙන ගත්තේ හය වසරේදී සෞඛ්‍ය පාඩමටය. සමනලයා, බිත්තර, දළඹුවා, පිලවා, යළි සමනලයා බවට පත් වේ. මෙය චක්‍රයකි. දිගින් දිගටම සිදු වන්නේ එයයි. බිත්තර වේශයෙන් සිටියත්, දළඹු වේශයෙන් සිටියත්, පිලවකු සේ සිටියත් අවසානයේ සමනලයා බවට පත් වේ. කවර අවස්ථාවක පැවතියත් සමනලයාගේ පැවැත්ම අහෝසි වන්නේ නැත. මෙලෙස සමනලයා ඉතා කෙටි කලක් වෙනත් වේශවලින් ගන්ධබ්බ අවධියක් ගත කරන බව හඳුනාගත හැකිය.
ඉහත සමනලයාගේ ජීවන චක්‍රය මෙරට රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් සහ පැවැත්මට බෙහෙවින් සමාන්තරය. රාජ්‍ය නිලධාරීන් යනු රාජ්‍යයේ යථා පැවැත්ම තහවුරු කිරීම පිණිස සිටින නිලධාරි පෙළැන්තියයි. ඔවුහු රාජ්‍යයේ පැවැත්ම තහවුරු කිරීමට දිවුරා පොරොන්දු වූ පිරිසකි. එහෙත් මෙරට රාජ්‍ය නිලධාරි පෙළැන්තිය රාජ්‍යය වෙනුවට ආණ්ඩුව හෝ දේශපාලනික පක්ෂ ආරක්ෂා කිරීමටත්, බංකොලොත් දේශපාලන ප්‍රතිරූප රැකීමටත් කටයුතු කරන බවක් හඳුනාගත හැකිය.
ඇතැම් නිලධාරීන් ආණ්ඩු මාරු වෙද්දී පැත්ත මාරු කරන්නේ ඇඳුම් මාරු කරනවාටත් වඩා සීරුවෙනි. සමනලයාගේ ජීවන චක්‍රය සහ නිලධාරි පෙළැන්තියේ ක්‍රියාකාරකම සමපාත වන්නේ එවිටය. තට්ටු මාරු ක්‍රමයට වසර හැත්තෑහයක් පුරා ආණ්ඩුවේදී මෙකී නිලධාරි පෙළැන්තිය ද ඉතා අපූරුවට දේශපාලන පාට, පක්ෂ මාරු කරන බවක් හඳුනාගත හැකිය.
මේ නිසා මෙකී නිලධාරී පැලැන්තිය දේශපාලන පිල්ලි සේ කටයුතු කරන බවක් දක්නට ලැබේ. ආණ්ඩුවේ බොහෝ ක්‍රියාකාරකම්වලට චක්‍රලේඛ වශයෙන් කකුල් මාට්ටු දමන්නට, රජයේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්නට ඉතා සියුම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවක් හඳුනාගත හැකිය.
මීළඟ සුනාමිය පැමිණෙන්නේ රාජ්‍ය නිලධාරීන් උදෙසා බව ඇමැති ලාල්කාන්ත සඳහන් කළේ ඒ පිළිබඳ නිශ්චිත පූර්ව උපකල්පනයක් ලෙසිනි. ගත වූ කාලය පුරා කෝප් කමිටුව මඟින් රාජ්‍ය නිලධාරීන්ගේ දූෂණ වංචා අක්‍රමිකතා එළිදරවු කරනු ලැබූවත් එමඟින් කිසිදු පලක් නොවිණි. ඊට හේතුව කෝප් කමිටුව හපන්න බැරි කොටියකු බවට පත් වීමයි. මේ බව දන්නා නිලධාරීහු ද කිසිදු ගැටලුවකින් තොරව කෝප් කමිටුව හමුවේ පෙනී සිටියහ. ගත වූ කාලය පුරා දේශපාලකයන්ගේ බොහෝ දූෂණ වංචා සඳහා නිල අනුග්‍රහය දෙනු ලැබ තිබුණේ එකී රාජ්‍ය නිලධාරීන් විසිනි.
රාජ්‍ය ආයතනවල බොහෝ ගනුදෙනු පිළිබඳ ලිපි ලේඛන අතුරුදන් වීම, නිල දත්ත මකා දැමීම, තාක්ෂණික දෝෂ සහිතව නිලධාරීන්ට නඩු පැවරීම යනාදිය සිදු කළේ මෙකී දූෂිත නිලධාරි පෙළැන්තිය විසිනි.
රාජ්‍ය සේවය මේ ආකාරයට පිරිහීමට ලක් වුණේ ඇයි? නැතිනම් රාජ්‍ය සේවය නෛසර්ගික ගුණාංගයක් වන රතු පටි ක්‍රමයට අනුව හිතා මතා චක්‍රලේඛ මතම කටයුතු කරනවාද? එසේත් නැතිනම් රාජ්‍ය නිලධාරීන් තමන්ගේ දේශපාලනික න්‍යාය පත්‍ර මත කටයුතු කරමින් ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමට කටයුතු කරනවාද? මේ පිළිබඳ වඩාත් විමසිල්ලෙන් සිටීම රාජ්‍යයේ පැවැත්මට හිතකර වනු ඇත.
රාජ්‍ය සේවකයන්ගේ ප්‍රමුඛතම කාර්යය වනුයේ ජනතාවට සේවය කිරීමයි. ඒ සඳහා ඔවුන්ට ජනතා බදු මුදලින් වැටුප් ලැබේ. කවර තත්ත්වයක් යටතේ හෝ රාජ්‍ය නිලධාරීන් ජනතා අභිලාෂ පසෙක ලා කටයුතු කරන්නේ නම් එතැන ඇත්තේ පිරිහීමකි.
රාජ්‍ය සේවය හා රාජ්‍ය ප්‍රතිපත්ති අතර ඇත්තේ ගසට පොත්ත මෙන් සබඳතාවකි. මේවා එක එකක් එකිනෙක හා සම්බන්ධිතය.
ආණ්ඩුවේ සිවිල් අරමුණු සහ සිවිල් පෙළැන්ති ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය සේවය අත්‍යවශ්‍ය වේ. මේ නිසා ආණ්ඩුවක් බලයට පත් වූ පසු රාජ්‍ය නිලධාරි පෙළැන්තිය හිතුමතේ එහෙට මෙහෙට මාරු කර දැමිය නොහැකිය. පුවක් වල්ලක් පොළොවේ ගැසුවාක් මෙන් රාජ්‍ය නිලධාරීන් මාරු කිරීමෙන් යන්ත්‍රණය බිඳවැටෙන බව ඕනෑම අයකුට අවබෝධ වන කාරණයකි.
එහෙත් නිලධාරි පෙළැන්තිය දූෂිත නම්, එකී දූෂිත බවින් මුදා ගෙන යහපත් නිලධාරීන් බඳවා ගැනීම අනිවාර්යයෙන් කළ යුත්තකි. වර්තමානයේ ආණ්ඩුව විසින් කරනු ලබන බොහෝ සමාජමය සත්කාරයන්ට චක්‍රලේඛ වශයෙන් පොලු නොදැමීම නිලධාරීන්ගේ වගකීමක් වනු ඇත. එහෙත් ආණ්ඩුවේ අරමුණු සහ නිලධාරීන්ගේ සුදු කරපටි රැකියා සමපාත නොවන බවක් හැඟී යමින් පවතී. දේශපාලනික බලපුළුවන්කාරකම මත තනතුරු හා වරප්‍රසාද ලැබූ නිලධාරි පෙළැන්තිය ආණ්ඩුවේ ගමන් මඟට දමන කකුල් මාට්ටු පැරදවිය යුතුය. ඒ සඳහා වන දේශපාලන සබුද්ධිකභාවය ආණ්ඩුවේ බලධාරීන්ට ඇතැයි අපි කල්පනා කරමු. දිගින් දිගටම නිලධාරීන්ගේ දූෂිත ක්‍රියා සහ හිටපු මැති ඇමැතිවරුන්ගේ දූෂණ වංචා පිළිබඳ ලියන්නට සිදු වේ නම් එය කනගාටුවට කාරණයකි.
ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු මත ඉදිරි දේශපාලනය සමාජගත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ප්‍රශස්ත වැඩසටහනක් බව සඳහන් කළ යුතුය. එය ආණ්ඩුවේ වැඩපිළිවෙළක් නොව, ජනතාවගේ වැඩපිළිවෙළකි; ජනතාව ඉල්ලා සිටි වැඩපිළිවෙළකි. ඒ සඳහා නිවැරදි තාක්ෂණික සහයෝගය දීම නිලධාරීන්ගේ වගකීමකි.
එසේ නොවුණහොත් දූෂිත දේශපාලකයන්ගෙන් පමණක් නොව, දූෂිත නිලධාරීන්ගෙන්ද මේ රට මුදාගත යුතු බව අවධාරණය කිරීමට අපට සිදු වනු ඇත. නැතිනම් සමනලයාගේ ජීවන චක්‍රය මෙන් ඔවුන් අපූරුවට පැත්ත මාරු කරනු ඇත.