Home » ගොඩනැඟිල්ල හිමිකරුගේ නිවෙසින් වැඩපොළට අනවසරයෙන් විදුලිය දීලා
අනාරක්ෂිත රැහැනකින් විදුලිසර වැදී පලංචියේ වැඩ කළ තිදෙනකු මියයෑම:

ගොඩනැඟිල්ල හිමිකරුගේ නිවෙසින් වැඩපොළට අනවසරයෙන් විදුලිය දීලා

by sachintha
December 31, 2024 1:01 am 0 comment

විවිධ කටයුතුවලදී නිසි ආරක්ෂිත ක්‍රමවේදයන්ගෙන් බැහැරව කටයුතු කිරීම නිසා වූ අවාසනාවන්ත සිදුවීම්වල අඩුවක් නැති තරම්ය. නොරෝච්චෝල මාන්පුරිය ප්‍රදේශයේ එවැනි අනාරක්ෂිත ලෙස ඉදි කිරීමක නිරත වූ කම්කරු පිරිසක් යකඩ පලංචියක් මත සිටියදී විදුලිසරට ලක්ව මරණයට පත් වීම මේ සම්බන්ධ ආසන්නතම නිදසුනයි.

මාම්පුරිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් හෝටලයක් ඉදි කිරීමට පුත්තලම ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවකුට භාර දී, ආදාළ කොන්ත්‍රාත්කරු විසින් කුලී පෙදරේරුවන් හා මේසන්වරුන් යොදාගනිමින් එම ඉදි කිරීමට කටයුතු කරමින් සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස විදුලිසරට ලක්ව තිදෙනකු මරණයට පත් වූයේ පෙරේදා (29) සවසය.

සිද්ධියට අදාළ දැවැන්ත හෝටලය හිමි ව්‍යාපාරිකයා නීති විරෝධි ලෙස සපයා තිබුණු අනාරක්ෂිත විදුලි රැහැනකින් විදුලිය කාන්දු වී මෙලෙස කම්කරුවන් තිදෙනකු මරණය පත්ව තිබුණේ පුත්තලම සෝල්ටන් 1 ගම්මානය හා මදීනා නගර් ගම්මාන දැඩි කම්පනයට පත් කරමිනි.

මෙහිදී විදුලිසරට ලක්ව අවාසනාවන්ත ලෙස මරණයට පත් වූයේ එස්.එම්. ජේන්සාත්, එම්.එම්.එස්. හමීඩ් සබ්රි සහ මොහොමඩ් මුර්සත් යන තිදෙනාය. පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ පදිංචි ‘පැරණි සෝල්ටන් කඳවුර’ ලෙස හැඳින්වෙන සෝල්ටන් 2 ගම්මානයේ පදිංචිව සිටි 17 හැවිරිදි එස්.එම්. ජේන්සාත්ගේ මව හා පියා දෙදෙනාම විදේශ රැකියාවක නිරත වීම හේතුවෙන් මේ දරුවා අසල්වාසීන් සමඟ මෙවැනි වැඩක නිරතව එයින් ලැබෙන මුදල තම කටයුතු සඳහා යොදාගෙන තිබේ. ඒ ගම්මානයේම පදිංචි 29 හැවිරිදි තිදරු පියකු වූ එම්.එම්.එස්. හමීඩ් සබ්රී තම රැකියාවෙන් ලැබෙන මුදලින් තම පවුල ජීවත් කරවන්නට දැඩි කැප වීමක නිරත වූවකු බව කියති. මේ දෙදෙනා සමඟ මරණයට පත් පුත්තලම මදීනා නගර් ගම්මානයේ පදිංචි 27 හැවිරිදි දෙදරු පියකු වන මොහොමඩ් මුර්සත් ද පවතින ආර්ථික තත්ත්වයන් හමුවේ මෙලෙස රැකියාවේ නිරත වී ලැබෙන මුදලින් පවුල නඩත්තු කිරීමට මහත් වෙහෙසක් ගත් අයකු බව ප්‍රදේශවාසීහු කියති.

මෙසේ මරණයට පත් තිදෙනා සමඟ වැඩ කළ ප්‍රධාන වඩු හා පෙදරේරු කාර්මිකයකු ලෙස කටයුතු කරන මොහොමඩ් මනාස්ගේ දිවි බේරී ඇත්තේ හාස්කමකින් මෙනි. ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත් කර සිටියදී ඔහු සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස විස්තර කරන්නට විය:

“මාත් එක්ක යකඩ පලංචියේ තවත් තුන් දෙනෙක් වැඩ කළා. ඒ වැඩ සඳහා විදුලිය දුන්නේ අපේ බොස්ට කොන්ත්‍රාත්තුව දුන්න මුදලාලි (හෝටල් හිමිකරු). ඒ වයර් යොදාගෙන වැඩ කරද්දි තමා අපට කරන්ට් එක වැදුණේ. මම හිතන්නේ වයර්වල ෂෝට් එකකින් තමා එහෙම වුණේ. මාව එක පාරම ඈතට විසි කළා වගේ වැටිලා ගියා. ඒ එක්කම අනිත් අය පලංචියෙ වැටිලා හිටියා වාගේ මතකයි. මොකද එයින් පසු මට එකපාරම කම්පනයක් වාගේ ඇති වුණ නිසා. දැනටත් හිතාගන්න බැහැ වුණ දේ ගැන. මම අවුරුදු 20ක් විතර වැඩ කර තිබෙනවා. මේ වාගේ දෙයක් සිදු වුණ පළමු අවස්ථාව.”

මේ ඉදි කිරීම සඳහා පෙදරේරු හා මේසන්වරුන් ලෙසත් අත් උදව්කරුවන් ලෙසත් 11 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් යොදවා ඇති අතර, එම කණ්ඩායම කොටස් දෙකකට කඩා කොටසක් බිත්ති බැඳීමටත් අනෙක් කණ්ඩායම කොන්ක්‍රීට් දැමීමට සැටලින් ගැසීමටත් යොදවා සිටි බව පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයි පොලීසිය කියයි.

කෙසේ නමුත් විදුලිසරට ලක් වූ පිරිස මන්නාරම හා යාපනය ප්‍රදේශවල සිට පුත්තලම එල්ටීටීඊ ත්‍රස්තවාදි කලබල හේතුවෙන් තම මවුපියන් සමඟ පැමිණ තාවකාලික කඳවුරුවල පදිංචිව සිට පසුව එම කඳවුරු තුළම ස්ථිර පදිංචිකරුවන් ලෙස වාසය කිරීමට මේ වන විට අදාළ පසුබිම සලසා තිබේ.

පුත්තලම හදිසි මරණ පරීක්ෂක බදුර්දීන් මොහොමඩ් හිෂාම් මහතා සිදු වීම වූ අවස්ථාවේදීම එම ස්ථානයට ගොස් එම ඉදිකිරීම දැඩි නිරීක්ෂණයට ලක් කර තිබූ බව වාර්තා වෙයි. එම ව්‍යාපාරිකයා තම නිවෙසේ ප්‍රධාන පරිපථයෙන් අදාළ ඉදි කිරීමට මෙලෙස විදුලිය සැපයීම හේතුවෙන් විදුලිය විසන්ධි වීමක් පවා සිදුව නොතිබීම හදිසි මරණ පරීක්ෂකවරයාගේ දැඩි අවධානයට යොමු විය. එහිදී මේ කරුණු සම්බන්ධව පොලීසිය හරහා අධිකරණයට කරුණු වාර්තා කිරීමටත් ඔහු කටයුතු කර තිබිණි. ඒ අනුව මෙවැනි ඉදි කිරීම්වලදි සිදු වන මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වළක්වාගැනීමට ගත යුතු පියවර ගැනද ඔහු අවධානය යොමු කරන්නට විය.

විදුලිසරට ලක්ව මරණයට පත් වූ තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පුත්තලම මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබිණි.

පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT