හංවැල්ල පොලිස් වසමේ, නිරිපොළ ප්‍රදේශයේ කුරුමුල්ල ගම්මානයේ පිහිටා ඇති ඇල්බඩ පුරන් කුඹුරු යායේ ඕවිටක අනවසරයෙන් ප්‍රදේශයේ ජනතාව බියට හා පීඩාවට පත් කරමින් පරිසරයට හානි වන අන්දමින් පස් ජාවාරමක් සිදු කරන බවට නුගේගොඩ කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද කුලසිංහ මහතාට ලද රහසිගත තොරතුරු හා පැමිණිලි කිහිපයක් මත විමර්ශන ආරම්භ කළ නුගේගොඩ කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්, අනවසර පස් කපන ස්ථානයේ තිබී පස් කැපීම සඳහා යොදා ගන්නා යන්ත්‍ර කිහිපයක් පසුගියදා (27) අත්අඩංගුවට ගත් බව එම ඒකකය සඳහන් කළේය.
මෙම පාතාල කල්ලියේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ ‘හංවැල්ලේ පස් සුමේධ’ නමැත්තා මාස කිහිපයකට පෙර සංවිධානාත්මක අපරාධ කල්ලි කිහිපයක් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඝාතනයට ලක්ව ඇති බවත්, ඉන් අනතුරුව ඔහුගේ පුත්‍රයා වන ‘සංජු ප්‍රේමලාල්’ නමැත්තා විසින් මහා පරිමාණයෙන් මෙම පස් ජාවාරම සිදු කරගෙන යනු ලැබ ඇති බවත් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. පස් සුමේධ නමැත්තාගේ පුත්‍රයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට යෑමේදී අනාවරණය වී ඇත්තේ හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමක් සම්බන්ධයෙන් දෙසැම්බර් 21 වැනි දින හංවැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි. නුගේගොඩ කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් මෙම ජාවාරම සිදු කරන ස්ථානයේ පරීක්ෂණ සඳහා යනවිට එම ස්ථානයට මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරියකු සහ භූවිද්‍යා පතල් හා කාර්යාංශයේ නිලධාරියකු මෙන්ම සීතාවක ප්‍රාදේශීය සභාවේ වැඩ අධිකාරිවරයාත්, හංවල පොලිස් ස්ථානාධිපතිවරයාත්, සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියකුත් කැඳවා මේ පිළිබඳ විස්තර හා තොරතුරු විමසීමේදී අනාවරණය වී ඇත්තේ පස් කැපීම සඳහා ජාවාරමේ නියැළෙන පුද්ගලයා විසින් වලංගු බලපත්‍රයක් ලබාගෙන ඇති බවයි. නමුත් සිදු කළ දීර්ඝ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ වෙනත් භූමියක පස් කැපීම සඳහා ලබා ගත් බලපත්‍රය මඟින් අනවසරයෙන් මෙම ස්ථානයේ බලපත්‍රයක් රහිතව පස් කපා ඇති බව අනාවරණය කර ගැනීමට හැකි වූ බවයි.
රාජ්‍ය ආයතන කිහිපයක් මෙන්ම පොලීසිය නොමඟ යවමින් සිදු කළ මෙම පස් ජාවාරම මෙහෙයවූ පුද්ගලයා බන්ධනාගාරයෙන් එළියට ආ පසු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පැවසීය. ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ හංවැල්ල පොලිස් ස්ථානයේ විවිධ අංශයන්හි නිලධාරීන් හා මෙම පස් ජාවාරමට සම්බන්ධ කල්ලිය අතර ගනුදෙනු මත ඉතා දීර්ඝ කාලයක් මෙම අනවසර පස් කැපීමේ ස්ථානය පවත්වාගෙනගිය බවයි. භූමියක කැණීම් සඳහා ලබාගත් බලපත්‍රයෙන් අනවසරයෙන් අසල පිහිටි භූමියක පස් කැපීම සම්බන්ධයෙන් හා සිදුකොට ඇති පරිසර හානිය පිළිබඳව සැලකිල්ලට ගනිමින් ලබා දී ඇති බලපත්‍රය වහාම අවලංගු කිරීමට කටයුතු කරන බව එහි පැමිණ සිටි නිලධාරීහු සඳහන් කළහ.
මෙම පස් ජාවාරම සිදු කරන භූමියට ආසන්නයේ පිහිටා ඇති මෙවැනිම ආකාරයේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන මේ වනවිට ඝාතනයට ලක්ව ඇති මන්නා රමේෂ් නමැත්තා විසින් පවත්වාගෙනගිය පස් කැපීමේ ස්ථානය ද විශාල පරිසර හානියකට තුඩු දෙමින් තිබෙන බවයි. එම ස්ථානයට ප්‍රදේශයේ නිවාසවල පිහිටා ඇති ඌරු ගොවිපොළ 16කින් ඉවත් කරන ඌරු අසූචි සහ ඌරු මළකුණු ගෙනවිත් දමා තිබීමෙන් ප්‍රදේශය පුරා විශාල දුර්ගන්ධයක් පවතින බවත්, ගංවතුර සමයේදී වතුර පාලනය කිරීමට වතුර බැස යාම සඳහා වක්ඔය දක්වා ඉදිකර ඇති නිරි ඇළ ද අවහිර කරමින් පස් දමා වසා ඇති බවත්, අධික වර්ෂාවකදී මෙම වළ ජලයෙන් පිරී ඌරු මළකුණු සහ ඌරු අසූචි මිශ්‍ර ජලය, වක් ඔය හරහා කැලණි ගඟට මුසු වීමෙන් කැලණි ගඟේ ජලය ද අපවිත්‍ර වීමට ඉඩ ඇති බව ද නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ.
පොලීසිය පැවසුවේ, මෙම ඉඩම අයිති කාන්තාව, පරීක්ෂණ පැවැත්වූ නිලධාරීන් විසින් එම ස්ථානයට කැඳවන ලදුව සති දෙකක කාලයක් තුළ ඌරු අසූචි සහ ඌරු මළකුණු මෙම ස්ථානයෙන් ඉවත්කොට වළලා දමා පස් කැණීම සඳහා කපා තිබෙන වළ ද සම්පූර්ණයෙන් වසා දමන ලෙස නියෝග ලබා දුන් බවයි.
නුගේගොඩ සමූහ – සමීර අබේසිංහ
බණ්ඩාරගම – බිමල් ජයසිංහ