Saturday, April 19, 2025
Home » අත්අඩංගුවට ගත් කුඩ්ඩෙක්ගෙන් ප්‍රශ්න කරද්දී සොරකම් රැසක් වමාරයි

අත්අඩංගුවට ගත් කුඩ්ඩෙක්ගෙන් ප්‍රශ්න කරද්දී සොරකම් රැසක් වමාරයි

by sachintha
December 30, 2024 1:02 am 0 comment

මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව වේයන්ගොඩ ප්‍රදේශයේ ගෙවල් බිඳුම් රැසක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගත් නූංගමුව පොලීසිය එසේ සොරා ගත් මිල කළ නොහැකි පෞරාණික දේපළ ඇතුළු දේපළ රැසක් සොයා ගැනීමට සමත් වී ඇත.

නුංගමුව පොලීසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත වේයන්ගොඩ බාඳුරාගොඩ පාරේ බැවන්වත්ත ප්‍රදේශයේ සැකකරුවකු මත්කුඩු ග්‍රෑම් දෙකකට වැඩි ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගැනුණු 27 හැවිරිදි වියේ පසුවන සැකකරු මත්කුඩු පානය සඳහා ඇබ්බැහිව සිටින පුද්ගලයකු බවත් ඔහු දිනකට රුපියල් අට දහසක මත්කුඩු පානය කරන බවත් අනාවරණය කර ගැනීමට පොලීසියට හැකි වී ඇත.

සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී වේයන්ගොඩ කුරි කොටුව මාලිගාතැන්න ප්‍රදේශයේ නිවාස වඩු මඩු ඇතුළු ස්ථාන හයකින් දේපොළ සොරාගෙන ඇතැයි හෙළි කර ගැනීමට පොලීසිය සමත් වී තිබේ.

එසේ සොරා ගත් දේපොළ විවිධ ස්ථානවල සඟවා හා විකුණා තිබිය දී පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

මිල කළ නොහැකි පෞරාණික ගෘහභාණ්ඩ, පිත්තල බඩු, ග්‍රැම ෆෝන්, විදුලි උපකරණ, කිරිපිටි ඇතුළු පැකට් කළ ආහාර ද්‍රව්‍ය, පිඟන් කෝප්ප, රේඩියෝ කැසට්, කැමරා ආදිය ඇතුළු දේපොළ රැසක් සොයා ගැනීමට පොලීසියට හැකිවී තිබේ. වේයන්ගොඩ ප්‍රදේශයේ කඩල විකුණා දිවි ගෙවෙන වයෝවෘද්ධ කාන්තාවකගේ නි‍ෙවසකින් ද දේපොළ සොරාගෙන ඇති බව හෙළි වී තිබේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු 14 හැවිරිදි වියේ සිට මත්කුඩු පානයට ඇබ්බැහි වී සිටින පුද්ගලයකු බව ද පියා ඔහු නි‍ෙවසින් පන්නා දැමීම නිසා කුලී නි‍ෙවසක පදිංචිව සිටිමින් මෙසේ දේපොළ සොරා ගනිමින් ඔහු මත්කුඩු පානය කිරීමේ යෙදී ඇතැයි ද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

සැකකරු ගෙවල් බිඳ දේපොළ සොරා ගැනීම සොරබඩු ළඟ තබා ගැනීම හා මත්කුඩු ජාවාරම් කිරීම යන චෝදනා යටතේ අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කොටදෙණියාව සමූහ එම්. පුෂ්පකුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT