රුපියල් පනස් නව ලක්ෂ හැත්තෑ දහසක් වටිනා , විවිධ රස ගන්වන ලද විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ගුවන් මගියෙකු ද අද (30) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු හලාවත , ජයබිම ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි , ගුවන් මගින් භාණ්ඩ මෙරටට රැගෙන විත් අලෙවි කිරීමේ නිරත ව්‍යාපාරිකයෙකි .
මොහු අද උදෑසන 08.00 ට ඩුබායි සිට , ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 597 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 03 ක විවිධ රස ගන්වන ලද ” මැන්චෙස්ටර්” සහ ” ප්ලැටිනම්” වර්ගයේ දුම්වැටි 39,800 ක අඩංගු දුම්වැටි කාටූන් 199 ක් සගවා ගෙන සිටියදී , රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් මෙම ව්‍යාපාරිකයා සහ ඔහු විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගය අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටියි.