Home » නි.ඇමැති වෛද්‍ය ප්‍රසන්න දඩකොළය අරන් ආදර්ශයක් දෙයි
රියැදුරු අධිවේගයේ වේග සීමා කඩයි

නි.ඇමැති වෛද්‍ය ප්‍රසන්න දඩකොළය අරන් ආදර්ශයක් දෙයි

by sachintha
December 30, 2024 12:41 am 0 comment

කුරුණෑගල – මීරිගම අධිවේගී මාර්ගයේදී අධික වේගයෙන් රිය ධාවනය කිරීමේ වරදට හසුවූ ප්‍රවාහන මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ගමන් කළ මෝටර් රථයේ රියදුරුට දඩ පත්‍රිකාවක් ලබා නොදී නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට පොලීසිය සූදානම්වූ අවස්ථාවේදී ඊට විරෝධය දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා වරදට දඩ පත්‍රිකාවක් ලබාගෙන ආදර්ශයක් ලබාදී තිබේ.

නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න ගුණසේන මහතා සහ ඔහුගේ රියැදුරා පසුගිය 23 වැනි සඳුදා අමාත්‍යාංශය වෙත පැමිණීමට මහනුවර සිට පැමිණ ඇත්තේ කුරුණෑගල ඔස්සේය. කුරුණෑගලින් අධිවේගී මාර්ගයට රථය ඇතුළු කර මීරිගම දෙසට නියෝජ්‍ය අමාත්‍යවරයා ගමන් කළ වාහනය ධාවනය වී තිබේ.

අධිවේගී මාර්ගයේ උපරිම වේගය පැයට කිලෝ මීටර් 100ක් වුවත් එම වේගය ඉක්මවා ධාවනය කිරීම හේතුවෙන් එම රථය අධිවේගී මාර්ග ආරක්ෂක පොලිස් නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්ව ඇත. වේගමාපක යන්ත්‍රයේ පවා වාහනයේ වේගය වැඩි බව සටහන්වීම හේතුවෙන් ඒ බව මීරිගම පිටවුමේ රැඳී සිටින පොලිස් නිලධාරීන්ට දැනුම්දීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන තිබේ.

මීරිගම පිටවුමේදී වාහනය පොලිස් නිලධාරීන් නවතනවිට නියෝජ්‍ය අමාත්‍යවරයා සිට ඇත්තේ නිදාගෙනය. රියැදුරු වාහනයෙන් බැසගොස් පොලිස් නිලධාරීන් හමුවී ඇත. එහිදී අමාත්‍යාංශය වෙත යාමට පැමිණි බවත් තමන් අධික වේගයෙන් පැමිණි බවත් වාහනය තුළ සිටින්නේ ප්‍රවාහන නියෝජ්‍ය ඇමතිවරයා බවත් රියැදුරු විසින් පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇත. අධික වේගයෙන් රිය ධාවනය කිරීමේ වරද වෙනුවට දඩ පත්‍රිකාවක් ලබාදීම වෙනුවට එය ලබානොදී රියැදුරුව මුදා හැරීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන තිබේ. එම අවස්ථාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා ඇහැරී සිදුවූයේ කුමක්දැයි විමසා බලා රියැදුරුට දැනුම්දී ඇත්තේ වරදක්කර ඇති බැවින් ඊට දඩ පත්‍රිකාව පොලිස් නිලධාරීන්ගෙන් ලබාගන්නා ලෙසය. සියලුම පුරවැසියන් රටේ නීතියට අවනත විය යුතු බැවින් පොලීසිය විසින් ලබාදුන් දඩ පත්‍රිකාව ලබා ගෙන දඩ මුදල ගෙවීමට කටයුතු කරන ලෙස නියෝජ්‍ය ඇමැතිවරයා රියැදුරාට උපදෙස් දී ඇත. මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගෙන් දිනමිණ විමසීමක් සිදුකළ අතර එහිදි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“මමත් මගේ රියැදුරු සහෝදරයාත් පසුගිය 23 වැනිදා අමාත්‍යාංශයට පැමිණෙමින් සිටියා. අපි අධිවේගී මාර්ගයේ ආවේ. මම සිටියේ වාහනය තුළ නිදාගෙන. එහෙම එන අතරේදි අධිවේගී මාර්ගයේදී රියැදුරු අධික වේගයෙන් පැමිණ තිබෙනවා. වේග සීමාවේදී 110ක් ලෙස සටහන්ව ඇති බව පොලිස් නිලධාරීන් පෙන්වා දී තිබෙනවා. එහිදී රියැදුරු පොලිස් නිලධාරීන් සමඟ කතාකර පැමිණෙන විටයි මට ඇහැරුණේ. මම ඇහුවා මොකද වුණේ කියලා. සිදුවූ දේ මට රියැදුරු ප්‍රකාශ කළා. මම නියෝජ්‍ය ඇමැතිවරයා බව සඳහන් කළ නිසා දඩ කොළය නොදීමට ඒ අය තීරණය කර තිබෙනවා. ඉන් පසුව මම මගේ රියැදුරුට සඳහන් කළේ එහෙම කරන්න එපා. අපි පුරවැසියාන් ලෙස සියලු දෙනා නීතියට අවනත විය යුතුයි. ඒ නිසා අදාළ දඩ මුදල ගෙවීමට කටයුතු කරන්න කියායි.”

ස්වර්ණා විජේකෝන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT