කතරගම පිහිටි රජයේ රක්ෂිත ඉඩමක කර ඇති ඉදිකිරීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් හිටපු ඉහළ දේශපාලනඥයකුගෙන් ප්‍රශ්න කිරීමට සූදානමින් සිටියි. එම ඉඩමේ සිදුකර ඇති ඉදිකිරීමට අදාළව විදුලිය ලබාගෙන ඇත්තේ අදාළ දේශපාලනඥයාගේ නමින් බවට වූ තොරතුරුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් සොයාගෙන ඇති බව සඳහන්ය.
එම ඉදිකිරීම සිදුකර ඇත්තේ හමුදාවේ ශ්‍රමය යොදාගෙන බවටද තොරතුරු අනාවරණය වී තිබෙන අතර ඉදිකිරීම් අවසන් වූ පසු එම ස්ථානයේ ආරක්ෂාව භාරව කටයුතු කර ඇතැයි පැවසෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතකු වන යෝෂිත රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි නාවික හමුදාවේ නිලධාරියකු බව සඳහන්ය. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට යෝෂිත රාජපක්ෂ මහතාව ලබන 03 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ. මෙම විමර්ශනයන්ට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ මේජර් නෙවිල් වන්නිආරච්චි මහතාගෙන්ද පසුගිය 27 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 27 වෙනිදා පැය 04ක් පුරාවට ප්‍රශ්න කරනු ලැබීය. මේජර් නෙවිල් වන්නිආරච්චි මහතාගේ වත්කම් සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
ගයාන් කුමාර වීරසිංහ