Home » සීයා පැදවූ ලොරියට යටවූ සිඟිති දියණිය මරු දකී

සීයා පැදවූ ලොරියට යටවූ සිඟිති දියණිය මරු දකී

-මව සමඟ සිඟිත්තිය ඩුබායි සිට ලංකාවට ඇවිත් මාස දෙකයි

by sachintha
December 30, 2024 1:05 am 0 comment

ඩුබායි සිට මීට මාස දෙකකට පමණ පෙර සිය මව සමඟ මෙරටට පැමිණි වයස අවුරුද්දයි මාස අටක් වයසැති දැරියක් ඇයගේ සීයා පැදවූ ලොරි රථයට යටවී අවාසනාවන්ත ලෙස මියගොස් ඇතැයි හසලක පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ සෙනුෂි සිහංසා නමැති සිඟිත්තියයි. මේ අනතුර සිදුව ඇත්තේ දැරියගේ මවුපියන් පදිංචිව සිටින හසලක, ඇටඔගොල්ලේ පිහිටි මහගෙදරට පෙරේදා (28) පැමිණ සිටියදී බව පොලීසිය සඳහන් කරයි. මේ අනතුර සම්බන්ධයෙන් දැරිවියගේ සීයා අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය. මියගිය දැරිවියගේ මවුපියන් ඩුබායි රාජ්‍යයේ රැකියාවක නියුතුව සිටින අයවේ. දැරිය සමඟ ඇගේ මව මීට මාස දෙකකට පමණ පෙර ඩුබායි සිට දෙවිනුවර, මඩවල පිහිටි ඇයගේ මවගේ නිවෙසට පැමිණ ඇති බවත් පසුව හසලක, ඇටඹගොල්ල, කීණපැලැස්සේ පිහිටි පියාගේ නිවෙසට ඔවුන් පැමිණ ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

අනතුර සිදුව ඇත්තේ පෙරේදා (28) නැවත දෙවිනුවර බලා යෑමට සූදානමින් සිටියදීය.

නිවෙසේ වාහන අංගණයේ තිබූ ලොරිය දැරිවියගේ සීයා විසින් ජලය රැගෙන ඒමට පිටත්ව යෑමට පණගන්වා ඉදිරියට ධාවනය කරන අවස්ථාවේදී මේ අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි. මේ අනතුර සිදු වන අවස්ථාවේදී දැරිවියගේ මව ඇයට කෑම කවා අත සෝදා ගැනීමට මුළුතැන්ගෙට ගොස් සිට ඇති බව විමර්ශනවලින් අනාවරණයවී ඇත.

ලොරි රථයට යට වූ දියණිය නිවැසියන් කඩිනමින් මහියංගණය රෝහලට රැගෙන ගියද ජීවිතය බේරාගැනීමට නොහැකිවී තිබේ.

මාපාකඩවැව සමූහ – එච්. එම්. රංජිත් කරුණාවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT