Home » ආගමන විගමන-රේගුව ගුවන්තොටුපොළ ඒකාබද්ධ කැමරා පද්ධතියක්
ජාවාරම් මඬින පියවරක්

ආගමන විගමන-රේගුව ගුවන්තොටුපොළ ඒකාබද්ධ කැමරා පද්ධතියක්

-ජනපතිගෙන් උපදෙස්

by sachintha
December 30, 2024 1:01 am 0 comment

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම යන ආයතන සම්බන්ධ කරගෙන ඒකාබද්ධ කැමරා පද්ධතියක් සහ ඒකාබද්ධ නිරීක්ෂණ මැදිරියක් ස්ථාපිත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එකී ආයතනවල නිලධාරීන්ට උපදෙස් දී තිබේ. මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධි ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැළැක්වීමටත්, ගුවන් තොටුපොළ හා රේගු පරිශ්‍රයේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීමටත්, නීතිවිරෝධි ලෙස පුද්ගලයන් රටින් පිට වීම වැළැක්වීමටත් අවශ්‍ය පියවර වහා ගන්නා ලෙසද ජනපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශවල බලධාරීන්ට උපදෙස් දී ඇත.

ජනාධිපතිවරයා සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම යන ආයතන ප්‍රධානීන් අතර පෙරේදා (28) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී මේ උපදෙස් දෙනු ලැබීය.

ශ්‍රී ලංකා රේගුවේ දැනට පවතින ස්කෑන් යන්ත්‍ර වෙනුවට වැඩිදියුණු කරන ලද නවීන ස්කෑන් යන්ත්‍ර යොදාගනිමින් මේ ආයතනවල සිදු වන ජාවාරම් වළක්වා ගැනීමට ප්‍රායෝගික නව ක්‍රියාවලියක් ආරම්භ කරන ලෙසද ජනාධිපතිවරයා සඳහන් කළේය. රටේ ජනතාව අතර රේගුව පිළිබඳ පවතින දුර්මත දුරු කළ යුතු බවද, ඒ වෙනුවෙන් දැඩි විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කඩිනමින් පියවර ගන්නා බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත්, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සරත් නෝනිස්, ආගමන විගමන පාලක ජනරාල් (වැඩ බලන) බී.එම්.ඩී. නිලූෂා බාලසූරිය, මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (ජාතික අයවැය) ජූඩ් නිලුක්ෂාන්, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

උපාලි කරුණාරත්න, ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT