Monday, April 21, 2025
Home » යෞවයේ සිහින සැබෑ කරන ජාතික යෞවන නාට්‍ය උළෙල මේ දිනවලදී

යෞවයේ සිහින සැබෑ කරන ජාතික යෞවන නාට්‍ය උළෙල මේ දිනවලදී

by chanaka
December 29, 2024 1:46 pm 0 comment

ජාතික යෞවන නාට්‍ය උළෙලේ අවසන් වටයේ කෙටි නාට්‍ය තරගාවලිය පසුගිය 24 වැනිදා පස්වරු 6. 00 ට යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යය සුනිල් කුමාර ගමගේ මහතාගේ හා යෞවන කටයුතු විෂය භාර නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල්/ සභාපති නීතිඥ චින්තක හේවාපතිරණ මහතාගේ හා ප්‍රවීණ නාට්‍යවේදීන්, කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් මරදාන එල්පින්ස්ටන් රඟහලේදී ආරම්භ කෙරුණි.

ශ්‍රී ලාංකීය වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට කුශලතා පූර්ණ තරුණ තරුණියන් හඳුන්වා දීම හා නාට්‍යකරණයේ යෙදෙන අංකුර තරුණ නාට්‍යකරුවන්ගේ කුශලතා ජාතික තලයට ගෙන ඒමේ අරමුණින් ජාතික තරුණ සේවා සභාව හා යෞවන කටයුතු අමාත්‍යාංශය සංවිධාන කරන ජාතික යෞවන නාට්‍ය උළෙල පසුගිය දිනවල මරදාන ටවර් හා එල්පින්ස්ටන් රඟහල්වල පැවැත්වෙන්නේ 43 වැනි වතාවටය.

උතුර හා ඌව හැරුණු විට ලංකාවේ අනෙකුත් සියලුම පළාත්වලින් මෙවර උළෙල නියෝජනය කරමින් පළමු වටයට කෙටි/දිගු දෙවර්ගයේම නාට්‍ය 150 කට ආසන්නය සංඛ්‍යාවක් පැමිණ තිබීම විශේෂත්වයකි. ඒ අතරින් පළාත්බදව තෝරා ගැනුණු දිගු නාට්‍ය හයක් අවසන් වටය නියෝජනය කරමින් පසුගිය නොවැම්බර් 18/19/20/25/26 සහ 27 දිනවල දිනපතා පස්වරු 6.30 ට මරදාන ටවර් හෝල් රගහලේදි වේදිකා ගත වී අවසන්ය. 43 වැනි ජාතික යෞවන කෙටි නාට්‍ය උළෙල ලෙස දෙසැම්බර් 24 වනදා යෞවන කටයුතු විෂය භාර මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූයේ එහි දෙවැනි අදියරයි. කෙටි නාට්‍ය උළෙල 24 වන දින සිට 31 දින දක්වා දිනපතා පස්වරු 6.00 ට කොළඹ එල්පින්ස්ටන් රගහලේදි හා ටවර්හෝල් රගහලේදි ප්‍රදර්ශනය වෙමින් පවතී.

මෙරටේ නාට්‍ය කලාවේ හා නාට්‍ය සංස්කෘතියේ සදාතනික සිහිවටන දෙකක් වන මරදානේ ටවර් හා එල්ෆින්ස්ටන් රගහල් දෙකම යොවුන් නාට්‍ය උළෙල පැවැත්වීමට යොදා ගැනීමද විශේෂත්වයකි. එම රංගශාලා දෙකෙහි අනන්‍ය සුවිශේෂත්වයන් හා වටිනාකම් තම තමන්ගේ නාට්‍ය නිර්මාණවලට එක්කර ගැනීමට ඉඩ පහසුකම් ලැබීම ම තරුණ නිර්මාණවේදීන්ගේ සතුටට කාරණාවක් වී ඇත.

දිගු නාට්‍ය අතරින් නිර්මාණ හයම කැපී පෙනුණු, එකිනෙකට වෙනස් නව තේමාවන්වලින් යුතු සුවිශේෂී නාට්‍ය වූ අතර ඉන් දෙකක්ම දෙමළ මාධ්‍ය නාට්‍ය වීමත් විශේෂත්වයක් වේ.

මෙවර කෙටි නාට්‍ය අවසන් වටය සඳහා තරඟ වැදීමට සිංහල දෙමළ ඉංග්‍රීසි මාධ්‍ය තුනෙන්ම කෙටි නාට්‍ය 25 ක් තෝරාගෙන තිබිණි. දෙමළ මාධ්‍ය නාට්‍ය 6 කුත් ඉංග්‍රීසි මාධ්‍ය නාට්‍යය 1 කුත් ඒ අතර තිබීම කැපී පෙනේ.

කෙටි නාට්‍ය උළෙලේ ආරම්භක දිනය වන 24 වැනිදා නාට්‍ය හතරක් වේදිකාගත විය. හිමාෂ ජයසිංහ, ඩිල්ෂාන් තිවංක, පවන් මධුශංක එක්ව නිෂ්පාදනය කළ “හනමිටිකාරයෝ”, ජනාධි ෂෝනිල් සමරසේකරගේ “සිරිත් විරිත්”,ධනුක මාලින්ද අනුරාධගේ “මේ ගමන යන්නම ඕනද” හා රාමචන්ද්‍රන් තිරිකුමාරන්ගේ “මරුතලිප්පු” යන නාට්‍ය පළමු දිනයේ වේදිකාගත විය.

කෙටි නාට්‍ය උළෙලේ දෙවන දිනය වූ දෙසැම්බර් 26 වැනිදා එල්ෆිස්ටන් රඟහලේ වේදිකාගතවීමට නියමිත වූයේ නාට්‍ය පහකි. පැතුම් සඳනුවන්ගේ “The Divorce”, සකිල නුවන්ත සුගතදාසගේ “The Trauma” හා චරිත් මදුරාංගගේ “ජාතික වීරයෙක්” සිංහල මාධ්‍ය නාට්‍ය ලෙස වේදිකා ගත කෙරුණි.

පැතුම් සඳනුවන්ගේ 18th ± ඉංග්‍රීසි මාධ්‍ය නාට්‍යයත් ෆාතිමා ඉෂාරාගේ “වීරනින් මනවී” දෙමළ මාධ්‍ය නාට්‍යත් එල්ෆීස්ටන් වේදිකාවට විශේෂත්වයක් ලබාදීමට නියමිතය.

විරාජ් රත්නායකගේ “රැපා” ඉසුරු ගුණවර්ධනගේ “දුක්ගිනි සින්දන” සුමුදු නෙත්තිආරච්චිගේ “කාසියට ගහක්” සිංහල නාට්‍යත් බාස්කර් කෘෂාන්ගේ “මඩයර්” දෙමළ මාධ්‍ය නාට්‍යයත් උළෙලේ තුන්වෙනි දිනය වන 27 වැනිදා එල්පින්ස්ටන් රඟහලේ රඟ දැක්විය.

දෙසැම්බර් 28 දිනයන්හි නාට්‍ය නැවතත් ටවර් රඟහලේදී වේදිකා ගත විය .ඒ පූර්ණජිත් අනුරාධගේ “වාසනාවේවා”, රශ්මික දිල්හාර ගේ “ඩුබායි”, කලණ ප්‍රේමසිරිගේ “මරදානේ වංකගිරිය”, හා ක්‍රිෂ්ණ න් හමීෂා දේවීගේ “මංගල්‍යම්” නාට්‍ය හතරයි .

දමිත් ශ්‍රී ග්‍රේෂන්ගේ “Ask The Oudenc”, රන්දික විමලසූරියගේ “මම නෙවෙයි වෙන කෙනෙක්”, රවිදු සම්පත් වික්‍රමසේකරගේ “සඳමේදරා” 30 වැනිදා ටවර් රඟහලේ රඟ දැක්වෙනවා. ඒ අතර දෙමළ මාධ්‍යයෙන් අගිනේෂ්වරන් ක්‍රිස්ණරාජ්ගේ “ඉලවන්දිගයි” නාට්‍යත් රඟ දැක්වීමට නියමිතය.

2024 වසරේ ජාතික යොවුන් නාට්‍ය උළෙලේ අවසන් දිනය වන 31වැනිදා ජයනි කළු ආරච්චිගේ “දඩින් බිඩින් ඩෝං” නාට්‍යයෙන් ප්‍රදර්ශනය ආරම්භ වෙනවා. සුරේෂ් මදුශාන්ගේ “කාටවත් කියන්න එපා”, උපුල් ආරියරත්නගේ “ඒකට කමක් නෑ මං යනවා යුද්දෙට” හා දෙමළ මාධ්‍ය නාට්‍ය ලෙස රාමලිංගම් ශ්‍රීකාන්ගේ “මයිර් කඩවුර් ” නාට්‍ය තුනත් රගදැක්වීමට නියමිත වේ.

2024 ජාතික යෞවන නාට්‍ය උළෙලේ දිගු හා කෙටි නාට්‍යවල සම්මාන හා ත්‍යාග පිරිනමන ⁣යෞවන සම්මාන ප්‍රදානෝත්සවය ප්‍රවීණ කලාකරුවන්ගේ හා විශේෂ ප්‍රභූවරුන්ගේ සහභාගිත්වය ඇතිව ලබන වසරේ නුදුරු දිනක පැවැත්වීමට හැකි වනු ඇතැයි තරුණ සේවා සභාවේ සංස්කෘතික අංශය සදහන් කරයි.

ඡායාරූප – සංජීව සමරරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT