Sunday, April 20, 2025
Home » ආරක්‍ෂක හමුදාවන්ට නවීන තාක්‍ෂණ දැනුම දෙන්න පියවර

ආරක්‍ෂක හමුදාවන්ට නවීන තාක්‍ෂණ දැනුම දෙන්න පියවර

by chanaka
December 29, 2024 9:50 am 0 comment

අප සතු ආරක්‍ෂක හමුදාවන් නවීන තාක්‍ෂණයන් සහ යුද්ධොපකරණ සමඟින් නවීකරණය කිරීමට උපරිම උත්සාහයක් දරමින් සිටින බව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසයි.

“තවද, අප රටේ ආරක්‍ෂක අංශ සතු මූලික කාර්යභාරය වන දේශයේ ආරක්ෂාව සඳහා පමණක් අපගේ ආරක්‍ෂක හමුදා යොදවන බවට අපි සහතික වන්නෙමු. අපගේ ත්‍රිවිධ හමුදාවන් සතු මානව හා භෞතික සම්පත් ප්‍රශස්ත අන්දමින් භාවිතා කිරීම සහතික කිරීම මෙන්ම මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා සන්නද්ධ හමුදා ව්‍යුහය සමාලෝචනය කිරීම අපගේ බලාපොරොත්තුවයි. ඊට අදාළව ත්‍රිවිධ හමුදා බඳවා ගැනීම් ක්‍රියාත්මක කිරීම සහ පිරිස් තෝරාගැනීමේදී ප්‍රමාණාත්මක අවශ්‍යතාවන්ට වඩා ගුණාත්මක භාවය කෙරෙහි අවධානය යොමු කිරීමට ද අප බලාපොරොත්තු වන්නෙමු.” යැයි ආරක්‍ෂක ලේකම් කියා සිටියේය.

ඔහු මෙම අදහස් පළ කළේ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ඊයේ (28) පැවති වර්ණවත් නාවික හමුදා විසිර යාමේ පෙළපාලියෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී වෛද්‍ය රුවිනි රසිකා පෙරේරා මහත්මියද සහභාගි විය.
සභාව ආමන්ත්‍රණය අතරතුර දේශයේ චිරස්ථිතිය උදෙසා සිය උපරිමයෙන් දායකත්වය දැක්වූ සියලු රණවිරුවන් වෙත උපහාර පුදකරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්‍ෂක ලේකම්වරයා, මෙරට සියලු පුරවැසියන් හට යහපත් අනාගතයක් උදාකර දීම වෙනුවෙන් ඔවුන් කළ උත්තරීතර කැපකිරීම වෙනුවෙන් සදාකාලිකව රණවිරුවන් වෙත අපගේ ගෞරවය හා ස්තූතිය හිමිවිය යුතු බව නැවතත් අවධාරණය කලේය.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ නාවික හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති කොමදෝරු ආර් ජෝසප් විසින් දිවයිනේ නැගෙනහිරට වන්නට පිහිටා ඇති ප්‍රධානතම වරාය නගරය වන ත්‍රිකුණාමලයේ පිහිටි නාවික හමුදාවේ උසස්ම පුහුණු හා උසස් අධ්‍යාපන ආයතනය ලෙස සැලකෙන නාවික හා සාගරික විද්‍යාපීඨය වෙත පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

අනතුරුව, චිරාගත නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ආරක්‍ෂක ලේකම්වරයා වෙත ගෞරව පිණිස සම්මාන මුරයක් පිරිනමන ලදී. මෙදින පැවති නාවික සාම්ප්‍රදායානුකූල රාත්‍රී විසිර යාමේ පෙළපාලියේදී ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 38 වන සහ 39 වන කණ්ඩායම් වලට අයත් කැඩෙට් නිලධාරීන් 16 දෙනෙකු සහ නාවික බඳවාගැනීම් 1/2023 කණ්ඩායමට අයත් කැඩෙට් නිලධාරීන් 13 දෙනෙකු සිය පාඨමාලාවන් සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව විසිර ගියහ.
එහිදී ආරක්‍ෂක ලේකම්වරයා විසින් පුහුණු කාලය තුළ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දැක්වූ සුවිශේෂී දක්ෂතාවන් වෙනුවෙන් අභිනව අධිකාරී ලත් නිලධාරීන් කිහිප දෙනෙකු වෙත සම්මාන පිරිනැමීම ද සිදු කෙරිණ.

ගරුතර මහා සංඝරත්නය ඇතුළු පූජ්‍ය පක්ෂය, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, මෙරට පිහිටි විදෙස් තානාපති කාර්යාලවල ආරක්‍ෂක උපදේශකවරුන්, ජ්‍යෙෂ්ඨ හමුදා සහ පොලිස් නිලධාරීන්, සම්භාවනීය ආරාධිතයින් සහ විසිර යන නිලධාරීන්ගේ ඥාතීන් ද විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT