Home » ශ්‍රී ලංකාවට ප්‍රධාන තරගාවලියට යෑමට මැලේසියාව සමඟත් තරගයක්
ආසියානු පළමු කොටසේ රග්බි ශූරතාව දිනූ

ශ්‍රී ලංකාවට ප්‍රධාන තරගාවලියට යෑමට මැලේසියාව සමඟත් තරගයක්

by mahesh
December 27, 2024 1:00 am 0 comment

ෆවුස් මොහොමඩ්

මේ වසරේ ආසියානු 15 සාමාජික පළමු කොටසේ රග්බි ශූරතාව දිනූ ශ්‍රී ලංකාවට ලබන වසරේ ආසියානු 15 සාමාජික ප්‍රධානතම රග්බි ශූරතාවලියට සුදුසුකම් ලැබීම තීරණය වන්නේ මැලේසියාව සමඟ පැවැත්වෙන තරගයකින් පසුව බවට වාර්තා වේ. එම තරගය ලබන වසරේ අප්‍රේල් මාසයේ 19 වැනිදා මැලේසියාවේදී පැවැත්වෙන බව පසුගියදා එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ මැලේසියානු රග්බි සංගම් ගිණුමෙහි සඳහන් කර තිබේ. මේ වසරේ මැද භාගයේ පැවති ආසියානු 15 සාමාජික රග්බි ශුරතාවලියේදී සියලු තරග පරාජයට පත්වී අවසන් ස්ථානයට පත්වූ මැලේසියාව ලබන වසරේදී පළමු කොටසේ තරගාවලිය දක්වා පහත වැටී ඇතැයි ආසියානු රග්බි සංගමයේ සහ ලෝක රග්බි සම්මේලන වෙබ් අඩවිවල මීට පෙර සඳහන් වී තිබිණි.

ආසියානු 15 සාමාජික රග්බි තරග මාලා ක්‍රමවේදයට අනුව ප්‍රධානතම ශූරතාවලියේ අවසන් ස්ථානයට පත්වන කණ්ඩායම ඊළඟ වසරේ පළමු කොටසේ තරගාවලිය දක්වා පහළ දැමීම සහ පළමු කොටසේ තරගාවලියේ ශුරයන් ඊළඟ වසරේ ප්‍රධානතම තරගාවලිය දක්වා ඉහළ දැමීම සිදුවුවද පළමු කොටසේ ශූරතාව දිනූ ශ්‍රී ලංකාවට මැලේසියාව සමඟ තරග වැදීමට සිදුවී ඇත්තේ මෙවර එම ක්‍රමවේදය සංශෝධනයට ලක්වීම හේතුවෙන් බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් ආසියානු පළමු කොටසේ ශූරතාව දිනා ලෝක රග්බි සම්මේලනයේ 15 සාමාජික කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 41 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවට ලබන වසරේ ආසියානු ප්‍රධානතම ශූරතාවලියට සුදුසුකම් ලැබීමට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 52 වැනි ස්ථානය දක්වා පහළ වැටුණු මැලේසියාව සමඟ තරග වැදීමට සිදුවීම රග්බි ක්‍රීඩාවට සම්බන්ධ බොහෝ පාර්ශ්වවල විමතියට කරුණක් වී තිබේ. එමෙන්ම සුදුසුකම් ලැබීම එක් තරගයකට පමණක් සීමා කිරීමත්, එම තරගය මැලේසියාවේ පැවැත්වීමත් මතභේදාත්මක කරුණක් බවට ද පත්වී තිබේ.

ලබන වසරේ පැවැත්වෙන ආසියානු ප්‍රධානතම රග්බි ශූරතාවලියේ ජයග්‍රාහකයන්ට වසර 2027 ලෝක රග්බි කුසලානයට සුදුසුකම් ලබන ආසියාවේ දෙවැනි රට බවට පත්වීමට අවස්ථාව හිමි වනු ඇත. ඒ සඳහා ආසියාවෙන් දැනටමත් ජපානය සුදුසුකම් ලබා සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT