Home » නෙවිල් ප්‍රනාන්දු රෝහල නව්‍යකරණයට නව සැලැස්මක්

නෙවිල් ප්‍රනාන්දු රෝහල නව්‍යකරණයට නව සැලැස්මක්

by chanaka
December 27, 2024 8:43 pm 0 comment

ප්‍රධාන ධාරාවන් කිහිපයක් පිළිබදව අවධානය යොමු කර සුදුසුම සංවර්ධන සැළැස්ම ක්‍රියාත්මක කරමින් මාළඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනානදු රෝහල රටට අතිශය ඵලදායී රෝහලක් ලෙස කඩිනමින් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.

අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ පසුගියදා එම රෝහලේ සිදුකරන ලද විශේෂ නිරීක්ෂණ චාරිකාවකට හා සාකච්ඡාවකට එක්වෙමිනි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සිය ධූරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් පසු රජයේ රෝහලක සිදුකරන ලද පළමු නිරීක්ෂණ චාරිකාව ද මෙය විය.

මෙහිදී අමාත්‍යවරයා රෝහලේ සියලු අංශ නිරීක්ෂණයට ලක් කරමින් අදාල ඉදිරි සැළසුම් සකස් කිරීම සදහා අමාත්‍යංශයේ නිලධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමුඛ රෝහල් කාර්ය මණ්ඩලය සමග දීර්ඝ සාකච්ඡාවක නිරත විය.

මේ වනවිට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් රෝහල ඉදිරියේදී පවත්වාගෙන යායුතු ආකාරය සහ සංවර්ධනය කළයුතු ආකාරය පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍යවරයා පත්කර තිබෙන විශේෂ කමිටුව එම රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව ව්‍යාපෘති යෝජනාවලිය සකස්කරමින් සිටින බව මෙහිදී අනාවරණය විය.
ඉදිරියේදී ශ්‍රී ලංකාව සෞඛ්‍ය කේන්ද්‍රකරගත් සංචාරක ව්‍යාපාර අංශයෙන් ද ප්‍රධාන කේන්ද්‍ර ස්ථානයක් බවට පත් කිරීම වත්මන් රජයේ ප්‍රධාන ඉලක්කය බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ යටතේ මෙම රෝහල දේශීය වෛද්‍ය ක්‍රමයද සම්බන්ධ කරගනිමින් සංවර්ධනය කිරීමේ හැකියාව පවතින බව පැවසීය. එමෙන්ම නෙවිල් ප්‍රනාන්දු රෝහල ස්ථාපිත කර ඇති භූමිය පිළිබඳව සලකා බලන විට සාර්ථක සංචාරක ව්‍යාපාර ආකෘතියකට ගැලපෙන පසුබිමක් පවතින නිසා එවැනි පියවරක් අනුගමනය කිරීමට පිහිටීමද වඩා යෝග්‍යවනු ඇතැයිද සඳහන් කළේය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් මාසිකව නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වැටුප් ගෙවීම සදහා දැනට රුපියල් මිලියන 40 මුදලක් වැයකරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා තව දුරටත් මෙම රෝහල රජයේ රෝහලක් ලෙස සම්ප්‍රදායිකව පවත්වාගෙන යාමට අරමුණක් නොමැති බවත්, ජාත්‍යන්තරව සහ මෙරට තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් හා නිපුණතාවන්ගෙන් පරිපුර්ණ රෝහල් කාර්ය මණ්ඩලයේ පුහුණුව මෙන්ම ගුණාත්මකභාවයද සැළකිල්ලට ගනිමින් අලුත් ආකෘතියක් යටතේ මෙම රෝහල නව්‍යකරණයකට ලක්කිරීමට සැලසුම් සකස් කරන බව ද අවධාරණය කළේය.

ඇඳන් 1002 ක ඉලක්කගත ධාරිතාවකින් සමන්විත වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල දැනටමත් ඇඳන් 800 ක පමණ ධාරිතාවකින් සමන්විත වන බවත්, මේ වන විට ද ඇඳන් 440 ක පමණ ප්‍රමාණයක් එදිනෙදා භාවිතයට යොදාගෙන ඇති බවත් මෙහි දී අනාවරණය විය. එමෙන්ම සාමාන්‍ය වාට්ටු, වෙන්කරන ලද ඇදන් සහිත වාට්ටු මෙන්ම සුභෝපභෝගී, අර්ධ සුභෝපභෝගී සහ සාමාන්‍ය තත්වයේ කාමර ආදී වශයෙන් කාමර 100 ක පමණ ප්‍රමාණයක් දැනටමත් ස්ථාපිත කර ඇත. මාළඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධව 2013 වර්ෂයේ දී මෙම රෝහල ආරම්භකර ඇති අතර 2017 වර්ෂයේ දී එය රජයට පවරා ගැනීමේ මුලික කටයුතු ආරම්භ වී ඇත.

මෙම නිරීක්ෂණ චාරිකාවට සහ අනතුරුව පැවති සාකච්ඡාව සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, මාළඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනානදු රෝහලේ වත්මන් සභාපති සුනිල් ගලගම, අධ්‍යක්ෂ වෛද්‍ය කමල් ජයසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චමින්ද අල්ගම යන මහත්වරුන් ඇතුළු අමාත්‍යංශ නිලධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුලු කාර්යමණ්ඩලයේ පිරිසක් සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT