Home » ඛනිජ වැලි සමාගමේ මුල්පුටුවට පරිපාලන සේවයේ සිටි කීර්තිමත් නිලධාරියෙක්

ඛනිජ වැලි සමාගමේ මුල්පුටුවට පරිපාලන සේවයේ සිටි කීර්තිමත් නිලධාරියෙක්

by chanaka
December 27, 2024 1:43 pm 0 comment

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු කීර්තිමත් නිලධාරියෙකු වන අශෝක පීරිස් මහතා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා ඛනිජ වැලි සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

ජල සම්පාදන හා ජලාප්‍රවාහන අමාත්‍යාංශය, දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ වල ලේකම්වරයා ලෙස වසර 10 ක් පරිපාලන සේවයේ ඉහළම තනතුරු දරා ඇති පීරිස් මහතා මීට පෙර 2015 – 2016 වසරවල ලංකා ඛනිජ වැලි සමාගමේ නිසි බලධාරියා ලෙසද කටයුතු කර ඇත.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව ගෞරව උපාධිධාරියෙක් වන ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපතිවරයෙක් ලෙසද කටයුතු කර ඇත. ලංකාවේ මැතිවරණ පැවැත්වීමේ ක්‍රියාවලියට සක්‍රීය දායකත්වය දැක්වූ රාජ්‍ය නිලධාරියෙක් වන අශෝක පීරිස් මහතා 2005 වසරේ දී පැවති මැතිවරණයේදී රාජ්‍ය විද්‍යුත් මාධ්‍යවල නිසි බලධාරියා ලෙසද කටයුතු කර තිබෙයි. ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් ලෙසද වගකීම් දරා ඇති ඔහු වසර 35 ක කීර්තිමත් රාජ්‍ය සේවයකට හිමිකම් කියන නිලධාරියෙකි.

රජය සතු වටිනාම රාජ්‍ය ව්‍යාපාරයක් වන ලංකා ඛනිජ වැලි සමාගම පූර්ණ විනිවිදභාවයෙන් සහිතව නිසි ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක කිරීමටත්, කැණීම් කටයුතු තව දුරටත් පුළුල් කරමින් ලංකාවට ඩොලර් උපයන ප්‍රධානම මාර්ගයක් බවට ආයතනය පත්කිරීම සභාපතිවරයා ලෙස තමා බලාපොරොත්තු වන බව අශෝක පීරිස් මහතා තම නව වගකීම භාර ගනිමින් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT