– ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අඩු පොලියක්
– සහන කාලයේදී නීති පියවර නෑ
පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකාව අත්හිටුවීම වැනි ක්‍රියාමාර්ගවලට සීමා නොවී මෙරට ආර්ථිකයේ නියමුවන් වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තිරසරව නැංවීමට රජය සහන ගණනාවක් සලසා ඇතැයි මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ අදහස් පළ කළේ කොළඹදී ඊයේ (26) පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට පහසුකම් සැලසීම යටතේ අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය:
“හුදෙක් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දිනය කල් දැමීම වෙනුවට, මේ දිගුකාලීන ගැටලුව සඳහා පිළිගත හැකි විසඳුම් සොයාගැනීම සහතික කිරීම සඳහා රජය පාර්ශ්වකරුවන්ගේ කණ්ඩායම් සමඟ අප සාකච්ඡා පැවැත්වූවා. එහි ප්‍රතිඵලයක් ලෙස, පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම මේ වන විට 2025 මාර්තු 31 දක්වා දීර්ඝ කර තිබෙනවා. ඊට අමතරව සහන පැකේජයක් හඳුන්වා දුන්නා. මේ සහන පැකේජය මහ බැංකුව විසින් බලපත්‍රලාභි බැංකු වෙත දැනුම් දී තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී කටයුතු සිදු කෙරෙනවා. එහිදී ව්‍යවසායකයන්ට සහන නිසි ලෙස ලැබේදැයි අප විමර්ශනය කරනවා.
“ව්‍යාපාර සඳහා සහන ලැබෙන්නේ කාලය දීර්ඝ කිරීමෙන් පමණක් නොවේ. මහ බැංකුවේ දත්ත අනුව, රුපියල් මිලියන 25ට අඩු ණය ප්‍රාග්ධනයක් ඇති ණය ගැනුම්කරුවන්ගෙන් 99%කට, තම ණය මුදල් බැංකු සමඟ නැවත සාකච්ඡා කර, ගෙවීම් සැලැස්මකට එකඟ වීමට මාස 12ක සහන කාලයක් දී තිබේ. රුපියල් මිලියන 25 සහ 50 අතර ණය ගැනුම්කරුවන් සඳහාද මාස 9ක දිගුවක් දී ඇති අතර, අනෙකුත් ණය ගැණුම්කරුවන් සඳහා මාස 6ක දිගුවක් ලබා දී ඇත.
රජය විසින් යෝජනා කරන ලද සහ මහ බැංකුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන මෙම සහන පැකේජය, අඩු පොලී අනුපාත, ආපසු ගෙවීම් කාලයෙහි දිගුව, ණය ශ්‍රේණිගත කිරීම් ලිහිල් කිරීම සහ තක්සේරු ආරවුල් විසඳීම සඳහා විනිවිද පෙනෙන යන්ත්‍රණයක් සැපයීම වැනි වැදගත් පියවර කිහිපයකින්ද සමන්විතය. ආර්ථිකය තුළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සක්‍රීය දායකත්වය සහතික කිරීම මේ සහන ක්‍රියාමාර්ගයන්හි ප්‍රධාන අරමුණ වේ.
ඡායාරූපය – දුෂ්මන්ත මායාදුන්නේ