Home » කප්පම් ඉල්ලීමකට හා බියර් කොල්ලයකට සීඅයිඩී රියැදුරුට මාංචු

කප්පම් ඉල්ලීමකට හා බියර් කොල්ලයකට සීඅයිඩී රියැදුරුට මාංචු

by mahesh
December 27, 2024 1:00 am 0 comment

දකුණු පළාත් සංචාරක එස්. දීයගහගේ

උණවටුන මුහුදු තීරුවේදී මැණික් ව්‍යාපාරිකයකුගෙන් කප්පම් ගැනීමට තැත් කිරීම සහ සංචාරක අවන්හලකින් බියර් කෑන් 8ක් කොල්ලකෑම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රියැදුරු කොස්තාපල්වරයකු සමඟ තවත් තිදෙනකු අත්අඩංගුවට ගත් බව හබරාදූව පොලීසිය පැවසීය.

ගාල්ල තලාපිටියේ පදිංචි මේ මැණික් ව්‍යාපාරිකයා තම මිතුරන් තිදෙනකු සමඟ මෝටර් රථයකින් උණවටුන මුහුදු වෙරළට ගොස් ඇති අතර, එහිදී ඔවුන් 4 දෙනා කොළකැඳ බීමට යමින් සිටින විට පැමිණි ප්‍රධාන සැකකරු තමා පොලිස් නිලධාරියකු බව පවසා පොලිස් හැඳුනුම්පත පෙන්නා පළමුව රියැදුරු බලපත ඉල්ලා තිබේ. අනතුරුව සැකකරු විසින් මැණික් ව්‍යාපාරිකයාගෙන් මුදල් ඉල්ලා ඇත.

පසුව සැකකරුවන් එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ. අනතුරුව උණවටුන, යද්දෙහිමුල්ල ප්‍රදේශයේ අවන්හලක හිමිකරු රාත්‍රී දොළහට පමණ අවන්හල වසා පිටව ගොස් ඇති අතර, ඒ අවස්ථාවේ මුරකරු පමණක් එහි සිටින විට ඇතුළු වූ මේ සැකකරුවන් මුරකරු බිය ගන්වා එහි තිබූ බියර් කෑන් 8ක් පැහැරගෙන පලා ගොස් තිබේ.

පසුව මේ පිළිබඳ පොලීසියට ලැබුණු පැමිණිලි මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රධාන සැකකරු කලකට පෙර හබරාදූව පොලීසියේ රියැදුරු කොස්තාපල්වරයකු ලෙස සේවය කොට ස්ථාන මාරු වීමක් ලබා ගොස් ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ. සැකකරුවන් ඊයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT