තම ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති මත්පැන් අවන්හලේ නීති විරෝධී ක්‍රියා රැසක් සිදු වන හෙයින් එහි බලපත වහා අහෝසි කරන්නැයි ඉල්ලා පදවිය, පරාක්‍රමපුර ජනතාව එම මත්පැන් අවන්හල ආසන්නයේදී ඊයේ (26) දහවල් උද්ඝෝෂණයක නිරත වූහ.
පදවිය, පරාක්‍රමපුර ස්ථාපිත කර ඇති මත්පැන් අවන්හලෙන් මත්පැන් නීති විරෝධීව පාසල් දරුවන්ට විකිණීම, පොහොය දිනවල පවා හොර රහසේ විකිණීම, නොයෙක් අවස්ථාවල මත්පැන් හල තුළ පුද්ගලයන්ට අමානුෂික ලෙස පහරදීමද මෙහි සිදු වන බව උද්ඝෝෂණකරුවෝ සඳහන් කරයි.
ගම මැද ස්ථාපිත කර ඇති මේ මත්පැන් අවන්හල නිසා තම පාසල් දරුවන්ද රැකගැනීමට නොහැකිව ඇති බවත්, පාසල් දෙකක් පන්සලක් ඉතා කිට්ටුව පිහිටා ඇති වුවත් මෙය විවෘත කරනවාට එරෙහිව ඒ කාලයේ දැඩි ජනතා විරෝධතාවක් පැවතියද පසු මුදල් හා දේශපාලන බලය හේතුවෙන් වගකිව යුත්තෝ ඊට අවසරය දී ඇති බවද උද්ඝෝෂකයෝ කියා සිටියහ. තවද නත්තල් දා එම අවන්හල් තුල සිදුවූ පහරදීමක් නිසාවෙන් තුවාල ලබා පදවිය මූලික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන බවද උද්ඝෝෂණකයෝ වැඩි දුරටත් සදහන් කළහ.
මේ උද්ඝෝෂණ පැවතී ස්ථානයට පැමිණි සිටි පදවිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජය කුමාරසිරි මහතාගෙන් විමසීමේදී ප්‍රකාශ කළේ නත්තල් දා සිදු වූ පහරදීමකින් තිදෙනෙකු රෝහල්ගතව ඇති බවත් සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ සිදු කරගෙන යන බවත්ය. එයට සමගාමිව ජනතා විරෝධතාවක් නිසා එම ස්ථානයේ දේපළවලට අලාභහානි වීමක් සම්බන්ධවද පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ පිළිබඳවද පරීක්ෂණ සිදු කරන බවද පැවසීය. මේ ස්ථානයට පැමිණි පදවිය ප්‍රාදේශීය ලේකම් වජිර රත්නායක මහතාද ජනතාවගෙන් අදහස් විමසීමෙන් පසු ප්‍රකාශ කළේ සුරාබදු කොමසාරිස්වරයාට මේ බව දන්වා පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බවයි.