නත්තල් සැමරුම වෙනුවෙන් පැවති සාදයකදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ කාන්තාවන් තිදෙනකු ඇතුළු අට දෙනකු වෑතර දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉන් තිදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව කහතුඩුව පොලීසිය පැවසීය.
මෙසේ තුවාල ලබා ඇත්තේ පොල්ගස්ඕවිට, අම්බලන්ගොඩ, කමතවත්ත පාර ප්‍රදේශයේ පදිංචි 18 -36 වයසේ පසුවන පුද්ගලයන් අට දෙනෙකි. අම්බලන්ගොඩ, හෙරලියාවල, කමතවත්ත පාර ප්‍රදේශයේ නිවෙසක නත්තල වෙනුවෙන් පෙරේදා (25) සාදයක් පවත්වා ඇති අතර, ඒ සඳහා පැමිණි පිරිස සාදය පවත්වමින් සිටියදී ඊට යාබද නිවෙසක පිරිසක් සමඟ ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් යකඩ පොලු, මුගුරු අතැතිව සාදය පැවති නිවෙසට පැමිණ පහර දීම සිදු කර තිබේ.
එම අවස්ථාවේදී දෙපිරිස අතර ගැටුමක් හටගෙන ඇති අතර, විසි කැත්තකින් හා යකඩ පොලුවලින් පහර කා ඉන් තුවාල ලැබූ දෙපාර්ශ්වයේම 8දෙනකු ප්‍රතිකාර සඳහා වෑතර දිසා රෝහලට ඇතුළත් කර ඇති බවත්, ඉන් තිදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත් පැවසේ.
කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ තිදෙනාගේ හිසට, අත් පාවලට හා මුහුණට බරපතළ තුවාල සිදුව තිබේ.පොලීසිය පැවසුවේ අනතුරට පත් පිරිස අතර කාන්තාවන් තිදෙනකු ද වන බවයි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතය. කහතුඩුව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ මෙහෙයවයි.