ඇෆ්ගනිස්තානයේ පක්ටිකා ප්‍රාන්තයට එල්ල වූ පාකිස්තාන ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 46 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි තලේබාන් රජය නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ප්‍රාන්තයේ බර්මාල් දිස්ත්‍රික්කයට එම ප්‍රහාරය එල්ල වී ඇති අතර, මිය ගිය පුද්ගලයන් අතුරින් වැඩිදෙනකු කාන්තාවන් සහ දරුවන් බවත් තලේබාන් රජය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඇෆ්ගනිස්තානයේ ප්‍රදේශ 4ක් ඉලක්ක කරමින් පාකිස්තාන හමුදාව නත්තල් දිනයට පෙර දිනයේදි එල්ල කර ඇති එම ගුවන් ප්‍රහාරය හෙළා දකින බව තලේබාන් රජය නිවේදනයක් නිකුත් කර ඇතැයි වාර්තා වේ.
ඊට ප්‍රතිචාර දක්වමින් පාකිස්තාන හමුදාව ප්‍රකාශ කර ඇත්තේ පාකිස්තාන ටෙහ්රීකි තලේබාන් ත්‍රස්ත ඉලක්ක වෙත සිය හමුදාව ගුවන් ප්‍රහාරය එල්ල කළ බවය. එමෙන්ම ගුවන් ප්‍රහාරයෙන් ටෙහ්රීකි තලේබාන් ත්‍රස්තවාදීන් කිහිපදෙනකු ඝාතනයට ලක්වූ බවත් සඳහන් කර තිබේ. පසුගිය මාස කිහිපය තුළ ටෙහ්රීකි තලේබාන් ත්‍රස්තවාදීන් පාකිස්තානු හමුදාවට ප්‍රහාර රැසක් එල්ල කර ඇතැයි ද, ත්‍රස්තවාදීන්ට රැකවරණය දෙන බවට පාකිස්තාන රජයෙන් ඇෆ්ගනිස්තානයට චෝදනා කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.