හර්ෂ උඩකන්ද තිර රචනා කරමින් අධ්‍යක්ෂණය කළ ‘රෝස ආදරේ’ චිත්‍රපටය ජනවාරි 3 දා සිට එම්.පී.අයි. මණ්ඩලය ප්‍රමුඛ දිවයින පුරා සිනමා ශාලාවන්හිදී තිරගත කෙරේ. නිසල හෙට්ටිආරච්චි (හඳුන්වාදෙන) දිනක්ෂි ප්‍රියසාද්, දිල්හානි ඒකනායක, රජිත හිරාන්, පැතුම් රුක්ෂාන්, නිමේෂ් එදිරිසිංහ, වසන්ත කුමාරවිල, රයන් වැන්රෝයන්, ලාල් වීරසිංහ, රුමලි කේෂිඩා ඇතුළු රංගන ශිල්පීන් රැසක් එක්වී ඇත. නිශාන් හසිත කැමරා අධ්‍යක්ෂණයෙන්, තිවංක අමරසිරි සංස්කරණයෙන්, ශාන් අල්විස් වර්ණ සංයෝජනයෙන්, ශේන් ආර්යන් නර්තන වින්‍යාසයෙන් ද සංගීත අධ්‍යක්ෂණයෙන් සහ ගී තනු නිර්මාණයෙන් නිමේෂ් කුලසිංහ, ගී පද රචනයෙන් ශෙහාන් ගලහිටියාව සමඟින් කුසල විදානපතිරණ ද ගීත ගායනයෙන් රවීන් තාරුක, ආදිත්‍යා වැලිවත්ත, ෆැලන් ඇන්ඩ්‍රියා, හිරුෂ ප්‍රනාන්දු සහ සෙව්මිණී සංජානා එක්වී ඇත. නිෂ්පාදන කළමනාකරණයෙන් නන්දලාල් ජයසිරි, විධායක නිෂ්පාදනයෙන් ශලිනි ප්‍රනාන්දු උඩකන්ද එක්වී ඇති Òරෝස ආදරේÓ අනූජ් රණසිංහගේ කතා සංකල්පයකට අනුව නිර්මාණය කර ඇත. මෙය අශෝක් ෆිල්ම්ස් වෙනුවෙන් අශෝක් ජයකොඩි විසින් නිෂ්පාදනය කර ඇත.
BANK ART FAIR සිංගප්පූරු ගිහින්
ලොව රටවල් ගණනාවක කලාගාර නියෝජනය කරමින් චිත්‍ර ශිල්පීන් සිය ගණනකගේ සහභාගිත්වයෙන් යුතුව BANK ART FAIR ප්‍රදර්ශනය සිංගප්පූරුවේ PAN PACIFIC හෝටලයේදී පසුගිය 13 – 15 දිනවල පැවැත්විණි. ශ්‍රී ලංකාවේ Art Way කලාගාරය නියෝජනය කරමින් ප්‍රවීණ චිත්‍ර ශිල්පී සුදත් අබේසේකර සහ අචලා ගුණවර්ධන ඊට සහභාගි වූහ.
මව්වරුන්ට උපහාර ගීතයක්
කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ලසන්ති මනරංජනීගේ නවතම ගැයුමක් ලෙසින් සියලු මවුවරුන්ට පිදෙන උපහාර ගීතයක් එළිදැක්වීම පසුගියදා සිදු කෙරිණි. මෙය ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී දයාරත්න පෙරේරාගේ පද රචනයකි. සංගීතය හා තනු නිර්මාණය අසිත් අතපත්තුගෙනි.
කලාවෙන් පෙරට එන නර්තන ශිල්පී දුලිප්
ඔහු නමින් දුලිප් ජයසිංහයි . ලබන ජනවාරි මස පැවැත්වීමට නියමිත Mr And Mrs Srilanka 2025 Grand final තරගයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින මෝස්තර නිරූපණයෙන්, නර්තනයෙන්, රංගනයෙන් දක්ෂතා දක්වන තරුණයකු වන දුලිප් සිය නිර්මාණකරණ දිවිය පිළිබඳ අදහස් දැක්වූයේ මෙලෙසිනි .
‘ මම පාසල් අවධියේ සිටම නර්තනයට ඇලුම් කළා. පාසලේදී එය විෂයයක් ලෙසත් හැදෑරුවා. උසස්පෙළින් පසුව මම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නර්තන කණ්ඩායමට බැඳුණා . එහිදී නර්තනයේ මූලික සහ උසස් පාඨමාලා හැදෑරුවා. නර්තන තරගවලින් සමස්ත ලංකා ජයග්‍රහණත් හිමිවුණා. පසුව ගුවන් හමුදාවේ නර්තන උපදේශකවරයකු , ශිල්පියකු ලෙසද කටයුතු කළා. ඒ අතරතුර ප්‍රංශය, බෙල්ජියම වැනි රටවල නර්තන ප්‍රදර්ශනවලටත් සහභාගි වුණා. ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිපති සම්මාන හා වසරේ වෘත්තිය විශිෂ්ටතා සම්මානත් ලබාගන්න හැකිවුණා. මෝස්තර නිරූපණය මගේ ජීවිතයේ එක් හැරවුම් ලක්ෂ්‍යයක් කිව්වොත් හරි. මේ විෂයය පිළිබඳ මා මුල සිටම හැදෑරුවේ Top Model හි ත්‍රිකලා ධරණි මිස්ගෙන්. ඇය යටතේ මූලික පාඨමාලාව හදාරා පාඨමාලාව අවසානයේ මම Best Model වශයෙන් තේරී පත්වුණා .පසුව ජාත්‍යන්තර විෂය නිර්දේශය යටතේ උසස් මෝස්තර නිරූපණ පාඨමාලාව සාර්ථකව නිමකළා. මේ ක්ෂේත්‍රයේ හොඳ ගමනක් යන්න සිතාගෙන ඉන්නේ. නර්තනය නම් අත්හරින්නේම නැහැ…’
කඩවතදී කවි හමුවක්
කඩවත සංකලන සඳැස් කවි සංසදයේ විශේෂ මහා සභා රැස්වීම අනිද්දා (29) පෙ.ව 9ට කැලණිය සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වේ. එදින කාව්‍යමය වැඩසටහනක් පැවැත්වීමට ද නියමිතය.
කුවේණී දිවි යකින්න 3 දා නෙළුම් පොකුණේදී
ප්‍රවීණ නර්තන ආචාර්ය චන්දන වික්‍රමසිංහයන්ගේ නවතම මුද්‍රා නාට්‍ය නිර්මාණය The Noir Queen Òකුවේණී දිවි යකින්නÓ මුද්‍රා නාට්‍යය 3 වැනිදා සවස 6.30 ට නෙළුම් පොකුණ රඟහලේදි වේදිකාගත කෙරේ.
මෙහි නර්තනය හා රංග වින්‍යාසය මහාචාර්ය මුදියන්සේ දිසානායක, ආචාර්ය රවිබන්දු විද්‍යාපති, නිරංජනී ශන්මුගරාජා, රංජිත් ප්‍රියංග, සාරංග විමුක්ති, නරේන්ද්‍ර චතුරංග, රසිදු ලක්ෂාන්, දෙවංගී වික්‍රමසිංහ, කෞෂල්‍යා මධුවන්ති, දුමින්ද දර්ශන, ලක්ෂිත නිලන්ත සහ සපුන් ලක්තරු දායක විසිනි.
ගේය පද බණ්ඩාර ඇහැළියගොඩ සහ මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර ගෙනි.
සල්ලි අරන් හොරු 05 දා
සල්ලි අරන් හොරු ඇවිදින් එළැඹෙන 05 වැනිදා සවස දර්ශන වාර දෙකක් එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ. මෙය ප්‍රියන්ත රන්ජන්ගේ නාට්‍ය නිර්මාණයක් වන අතර මාෂි නිශාදි විලේගොඩ නිෂ්පාදනයකි. සංගීත අධ්‍යක්ෂණය සරත් කුලාංගය.