රජය සතු දේපළ හා රාජ්‍ය මුදල් අවභාවිතය දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලාංකේය සමාජයේ සියල්ලෝම දනිති. එපමණක් නොව, සඟ සතු දේපළ අවභාවිතය අපාගත වන කරුණක් බව ඔවුන්ගේ විශ්වාසයේ පවතියි. ඒ නිසා පැරැණියෝ රාජ්‍ය මුදල් අවභාවිතයට මෙන්ම සඟ සතු දේපළ අවභාවිතයට ද ඉමහත් බියක් දැක්වූහ.
එහෙත් ඉකුත් පාලන සමයන්හිදී කිසිදු හිරිකිතයකින් තොරව රජය සතු මුදල් මෙන්ම සඟ සතු දේපළ ද අවභාවිත කළ ආකාරය අපි ඉතා හොඳින් දැක ඇත්තෙමු. ඉතා පැහැදිලිව කියන්නේ නම්: ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේ සිට ප්‍රේමදාස, විජේතුංග, චන්ද්‍රිකා, මහින්ද, ගෝඨා, රනිල් යන සියලු රාජ්‍ය සමයන්හිදී මෙකී සමාජ විරෝධී ක්‍රියා සිදුවූවා පමණක් නොව, එම පාලකයෝ ඒවාට ඍජුව සහ වක්‍රව අනුබල දීමට ද කටයුතු කළහ.
රාජ්‍ය මාධ්‍ය ආයතනයක් ලෙස ‘දිනමිණ’ පුවත්පත එකී දූෂණ, වංචා, අක්‍රමිකතා පිළිබඳව සිරස්තල කිහිපයක් යටතේ පසුගියදා වාර්තා කර තිබිණි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදු වූ රට රැකියා ජාවාරමක් පිළිබඳව ද, රටින් මුදල් එවන අයට ඉලෙක්ට්‍රොනික වාහන දීමේදී සිදු වූ වංචාවක් පිළිබඳව ද එලෙස වාර්තා කොට තිබිණි. ඉකුත් යහපාලන සමයේ ජනාධිපති මාධ්‍ය අංශයේ තිබූ රුපියල් ලක්ෂ 1,420ක උපකරණ අතුරුදන් වී තිබූ අතර, ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිත වීම සම්බන්ධයෙන් ප්‍රධාන සිරස්තලයක් ද වාර්තාකොට තිබිණි. එහි සඳහන් වූයේ පොදු ජනතාවට හිමි විය යුතු ජනාධිපති අරමුදලේ ප්‍රතිපාදන රුපියල් ලක්ෂ ගණනින් දේශපාලකයන් අතරේ බෙදාගැනීම පිළිබඳවය.
ඉකුත් අරගල සමයේ හානියට පත් මැති ඇමැතිලාගේ නිවාස වෙනුවෙන් රුපියල් මිලියන 753ක මුදලක් හානිපූරණය සඳහා කාර්යාලය මඟින් ගෙවා ඇති බවට ද ප්‍රවෘත්තියක් පළවිය. එමෙන්ම ඉකුත් පාලන සමයේ රජයේ මැති ඇමැතිවරුන්ගේ ගුවන් ගමන් සඳහා අති විශාල ධනස්කන්ධයක් රජයෙන් දරා ඇති බව ද වාර්තා විය. ඊයේ (26) අප පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත්වූයේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කෝටි දහයක අතිකාල දීමනා ගෙවීම පිළිබඳවය.
ජනමාධ්‍යයක් ලෙස අපට ඇති වගකීම දිගින් දිගටම මේවා ප්‍රවෘත්ති ලෙස වාර්තා කිරීම පමණක් ද?
රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය යනු ආර්ථික වර්ධනය, පූර්ණ සේවා නියුක්තිය වැනි සාර්ව ආර්ථික අරමුණු ඉටු කර ගැනීමට රාජ්‍ය ආදායම, රාජ්‍ය වියදම හා රාජ්‍ය ණය ගැනීම්වල වෙනස්කම් සිදු කිරීම බව ඒ පිළිබඳ න්‍යායාත්මක අර්ථකථනවල සඳහන් වේ.
ජාතික දේපළ සොරාකන්නවුන්ට දඬුවම් දීම, සොරුන් ඇල්ලීම, මෙරට ජනප්‍රිය සටන් පාඨයකි. 1994දී බලයට පත් නූතන විහාර මහා දේවිය ලෙස අභිෂේක ලත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සඳහන් කළේ සියලු හොරුන් ගාලු මුවදොර පිටියේදී එල්ලන බවයි. එපමණක් නොව; යෞවනයන්ට මේ රට භාරගන්නා ලෙස ද ඇය ආරාධනා කළාය. ඒ කරුණු දෙකම සිදුවූයේ නැත.
අලුත් ශ්‍රී ලංකාවක් හදන්නට 2005දී බලය ගත් මහින්ද රාජපක්ෂ හොරකම විමධ්‍යගත කොට, තමා පමණක් නොව; ඥාතී හිත මිතුරන් හැත්ත බුරුත්තටම ඇති තරම් මුදල් උපයා ගැනීමට ඉඩප්‍රස්තා සලසා දුන්නේය. ‘අහු නොවී හොරකම් කරපන්’ යන්න ඔවුන්ගේ නොනිල තේමා පාඨය විය.
රනිල්ගේ සහ ගෝඨාභයගේ පාලන කාලසීමාවල ද සිදුවූයේ ඒ දූෂිත ක්‍රමවේදය තවදුරටත් ඉදිරියට පවත්වාගෙනයෑම විනා අන් කිසිවක් නොවේ. රාජ්‍ය මුදල් අවභාවිතය පිළිබඳ සොයා බැලීමට පාර්ලිමේන්තු කාරක සභාවලට සහ විගණකාධිපති දෙපාර්තමේන්තුවට නිල වශයෙන් බලය පැවරේ. මෙකී දූෂණ, වංචා පිළිබඳ කිසියම් අදහසක් ඇති කර ගැනීමට නම් මෙතෙක් පැවති කෝප් කමිටු වාර්තා කියවා බැලීම ප්‍රමාණවත්ය. එමෙන්ම විගණකාධිපතිවරයා විසින් නිකුත් කරන ලද විගණන වාර්තා අධ්‍යයනය කිරීම ප්‍රමාණවත්ය. කෝප් කමිටු වාර්තාවත්, විගණකාධිපතිවරයාගේ විගණන වාර්තාවත් ජනමාධ්‍යයට ප්‍රවෘත්ති සපයන ඉතා හොඳ විශ්වාසදායක මූලාශ්‍ර වේ. ජනමාධ්‍ය ප්‍රධාන සිරස්තල වාර්තා කරන්නේ එකී මූලාශ්‍ර උපයෝගී කොටගෙනය.
අපගේ ගැටලුව මෙකී මූලාශ්‍ර මත පදනම්ව ජනමාධ්‍ය ප්‍රවෘත්ති සිරස්තල පමණක් වාර්තා කිරීමෙන් සෑහීමකට පත් විය හැකි ද? යන්නය.
මෙකී දූෂණ, වංචා, අක්‍රමිකතා පිළිබඳ නිශ්චිත නීතිමය සොයා බැලීම සිදු කොට, වරදකරුවන් නීතිය රැහැනට කොටු කර ගන්නේ කවදා ද? ඒ සඳහා ඇත්තේ කවර නම් වූ බාධකයක් ද? එය නීතිමය බාධකයක් ද, නැතිනම් දේශපාලනික බාධකයක් ද යන්න සොයා බැලිය යුතුය.
රාජ්‍ය සේවයේ නිරතව සිටියදී මූල්‍යමය අපරාධයකට ලක්වීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ඕනෑම සාමාන්‍ය පුරවැසියෙක් පවා දනී. ඒ සඳහා ආයතන සංග්‍රහය, දණ්ඩ නීති සංග්‍රහය හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා ගැනීමට අවශ්‍ය නොවේ.
එපමණක් නොව; සඟ සතු දේපළ සොරකම් කිරීම පිළිබඳව ද ජන සමාජයේ කියමනක් පවතියි. රජය සතු දේපළ ද සඟ සතු දේපළ මෙන්ම සුවිශේෂ බව අපි විශ්වාස කරමු.
සාංඝික දේපළ අනිසි ලෙස අත්පත් කර ගැනීම, අයබදු නොගෙවීම, සාංඝික දේපළ කෑම යන ක්‍රියාවල නිරත වන අය ප්‍රේත ආත්මවල උපත ලබා දුක් විඳින බව ‘පේත වත්ථු’ නමැති ධර්ම ග්‍රන්ථයේ සඳහන් වේ. “ඔවුහු බොහෝ දුක් විඳිති; ආහාර හිඟකමින් සුදහ ගින්දරෙන් අපමණ පීඩාවට පත් වෙති; අපවිත්‍ර දෙයක් හෝ කෑමට ලැබුණ ද එය භුක්ති විඳීමට නොහැකිව ඔවුනොවුන් විවිධ අරගලවල යෙදෙති; ඇතැම්විට තුවාල වූ තම ශරීරය පැසවූ ලේ බොමින් ද සැරව ආහාරයට ගනිමින් ද ජීවත් වෙති” යනුවෙන් එම ග්‍රන්ථයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
පේත වත්ථු ධර්ම ග්‍රන්ථයේ එසේ සඳහන් වුවත්; පරම්පරා ගණනක් තිස්සේ රාජ්‍ය දේපළ කොල්ලකෑ දූෂිත දේශපාලකයන්ට එවැනි ආපදාවක් අත් වී නම් නැත. ඔවුහු ජාතික ධනය සමඟ පාපන්දු ගැසූහ; විඳිය හැකි ඉහළම සුඛ විහරණ ලැබූහ; පරම්පරා ගණනකට වස්තු සම්භාර රැස් කළහ. මරණින් මතු ලෝකයේ ලැබෙන ප්‍රතිවිපාක පිළිබඳ ඔවුන්ට වගේවගක් නැත.
මේ නිසා ජාතික ධනය අමුඅමුවේ කොල්ලකෑ දූෂිත දේශපාලකයන්ට මරණින් මතු ලෝකයේ ඇති දඬුවම් කවරක් වුවත්; එයින් මේ ජන සමාජයට පලක් නොවේ. නව සමාජ වෙනසක් අපේක්ෂා කළ මිනිසුන්ගේ බලාපොරොත්තුව වනුයේ ඔවුන්ට මෙලොවදීම දඬුවම් දීමයි. නීතිය ඇත්තේ එයටයි. ස්වාභාවික යුක්ති මූලධර්මය මඟින් ස්වාභාවිකව පරලොවදී ඔවුන්ට යම් දඬුවමක් ලැබෙනවා නම්, එය ලැබිය යුතුය. එහෙත් ඊට පෙර නීතිය ක්‍රියාත්මක වී ඔවුන්ට දඬුවම් දිය යුතුය.
කෝප් කමිටු වාර්තා, විගණන වාර්තා මත පදනම්ව ජනමාධ්‍ය සිරස්තල පමණක් ඉදිරිපත් කිරීමෙන් සමාජයට අත්වන සුගතියක් නැත. ජනතාවට හා ජනමාධ්‍යයට ඉහළින් පවතින නීතිය ක්‍රියාත්මක විය යුතුය. ඒ සඳහා කඩිනමින් විධිමත් ක්‍රියාමාර්ග ගැනෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු. ජනතාව අපේක්ෂා කළ සමාජ වෙනසේ මූලික පියවර තැබීමට හැකි වන්නේ එවිටය. ඒ සඳහා වන දේශපාලනික පෞරුෂය නව රජයට ඇතැයි අපි අපේක්ෂා කරමු. ඒ වෙනුවෙන් අපි තවදුරටත් බලාපොරොත්තු පළ කරමු.
ඒ නිසා වර්තමානයේ රූපවාහිනී කැමරා ඉදිරියට පැමිණ ‘වොයිස් කට්’ දෙන දූෂිත දේශපාලකයන්ට අපි මෙසේ කියා තබමු.
“සුදු ඇඳ ගත් පමණින් හෝ සතර පෝයට සිල් ගත් පමණින් ධාර්මික වන්නේ නැත. පැරණි කුණු එලෙසින් වසා ගැනීමට ද හැකියාවක් නැත. නීතිය ක්‍රියාත්මක වන තුරු ‘පේත වත්ථු’ ධර්ම ග්‍රන්ථයේ ආගමික පාඨය සිහි තබා ගන්න.”
දැනට එය ප්‍රමාණවත්ය.