Monday, April 21, 2025
Home » මුද්‍රණ යන්ත්‍රයක් අවු. 19ක් තිස්සේ මුල්ලකට දාලා
විභාග දෙපාර්තමේන්තුවේ 

මුද්‍රණ යන්ත්‍රයක් අවු. 19ක් තිස්සේ මුල්ලකට දාලා

by mahesh
December 27, 2024 1:00 am 0 comment

රන්මලී සෝමසිරි

වසර 19ක් තිස්සේ කිසිදු ප්‍රයෝජනයකට නොගත් මුද්‍රණ යන්ත්‍රයක් විභාග දෙපාර්තමේන්තුවේ ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.

2005 වර්ෂයේදී මිල දී ගෙන ඇති මෙම stitch Master Gathering and wire Stitching machine යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමේදී කොළ ඉවතට හැලීම හේතුවෙන් මිල දී ගත් මුල් අවස්ථාවේ සිට මේ දක්වා භාවිතයෙන් ඉවත් කර ඇති අතර එම යන්ත්‍රය මිල දී ගැනීමට අදාළ ලිපි ගොනු විගණනයට ඉදිරිපත් කිරීමට ද දෙපාර්තමේන්තුව පියවර ගෙන නැත.

අදාළ යන්ත්‍රය දෙපාර්තමේන්තුවට භාර ගන්නා අවස්ථාවේදීම එහි ක්‍රියාකාරිත්වය පරීක්ෂා කර දෙපාර්තමේන්තු අවශ්‍යතාවට නොගැළපෙන්නේ නම් නැවත යැවීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වගකිව යුතු සියලු පාර්ශ්වයන් හඳුනාගෙන රජයට සිදුවූ අලාභය අය කර ගැනීමට පියවර ගන්නා ලෙස ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

මේ සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලයට අදහස් දැක්වූ ගණන් දීමේ නිලධාරිවරයා සඳහන් කර ඇත්තේ වසර 19ක් අක්‍රියව භාවිතයෙන් ඉවත් කර ඇති යන්ත්‍රය අදාළ සැපයුම්කාර සමාගමෙන් විමසා අවශ්‍යතාව අනුව සක්‍රිය කර ගැනීමට කටයුතු කරමින් පවතින බවයි.

එසේම ප්‍රශ්නපත්‍රවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා 2018 වර්ෂයේදී රුපියල් 8,428,687ක් වැය කරමින් වෙබ් ඩිජිටල් මුද්‍රණ යන්ත්‍රයේ wrapping Solution කොටස මිල දී ගෙන තිබුණ ද දැනට භාවිත කරන රහස්‍ය ලේඛන ඇසුරුම් ක්‍රියාවලිය සමඟ එම කොටස නොගැළපීම හේතුවෙන් මිල දී ගත් දින සිට 2024 ජූලි දක්වාම එම යන්ත්‍ර කොටස නිශ්කාර්යව පැවතුණු බව ද විගණනයෙන් හෙළි වී ඇත.

එම යන්ත්‍ර කොටස රහස්‍ය පාසල් විභාග ශාඛාවේ හෝ වෙනත් කිසිදු ශාඛාවකට අවශ්‍ය නොවන බව දක්නා ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට අදාළ නියෝජිත ආයතනය හා සාකච්ඡා කරමින් තිබෙන බව මේ සම්බන්ධයෙන් ගණන් දීමේ නිලධාරි විගණනයට පවසා තිබේ.

මෙම යන්ත්‍ර කොටස සම්බන්ධයෙන් විගණන කාර්යාලයේ නිර්දේශය වී ඇත්තේ ද මිල දී ගැනීම සඳහා ඉල්ලුම් කිරීමේ සිට මිල දී ගැනීම දක්වා වූ ක්‍රියාවලියට සම්බන්ධ වූ සියලු වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් රජයට සිදු වූ අලාභය අය කර ගැනීමට පියවර ගත යුතු බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT