Saturday, April 19, 2025
Home » ජනපති හමුවීමට කලහ කළ අයෙක් අත්අඩංගුවට

ජනපති හමුවීමට කලහ කළ අයෙක් අත්අඩංගුවට

by mahesh
December 27, 2024 1:00 am 0 comment

කොට්ටාව - ප්‍රදීප් කුමාර

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අවශ්‍ය බවත් එසේ නැතිනම් ගෙල කපාගෙන මිය යන බවත් පවසමින් කලහකාරීව හැසිරුණු පුද්ගලයකු පාලනය කර අත්අඩංගුවට ගැනීමට පිළියන්දල පොලීසිය ඊයේ (26) පෙරවරුවේ පියවර ගත්තේය.

පිළියන්දල, තුම්බෝවිල ප්‍රදේශයේ පදිංචි (53) හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබිණි.

මොහු ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බව පවසමින් පිළියන්දල, ජාලියගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක් ඉදිරිපිට නවතා තිබූ ලොරි රථයකට කඩුවක් ද අතැතිව නැඟ සිටියදී මෙසේ අත්අඩංගුවට ගැනිණ.

මෙම පුද්ගලයා ජාලියගොඩ හන්දියට කඩුවක් රැගෙන පැමිණ අසල්වාසීන්ට පරුෂ වචන කියමින් කලහකාරීව හැසිරී තිබේ. ඒ අතරතුරදී අවට පිරිස පරුෂ වචන නොකියන ලෙසට දැනුම් දීමෙන් පසුව ඊට උරණ වී අසල නවතා තිබූ ලොරි රථයකට නැඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අවශ්‍ය බවත් එසේ නොවන්නේ නම් බෙල්ල කපාගෙන සියදිවි හානි කර ගන්නා බවත් පවසමින් කලහකාරීව හැසිරී තිබේ.

පසුව තත්ත්වය පාලනය කිරීමට අසල්වාසීන්ට නොහැකි වූ නිසා මේ බව පිළියන්දල පොලීසියට දැනුම් දීමෙන් පසුව නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ තත්ත්වය පාලනය කළේය.

පසුව අනාවරණය වී තිබුණේ කලහකාරීව හැසිරුණු පුද්ගලයා මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයකු බවයි. ඒ අනුව “ජනාධිපතිතුමා හමුවීමට යමු” යැයි පවසමින් පොලීසිය මැදිහත් වී එම පුද්ගලයා ලොරි රථයෙන් බිමට බස්සවාගෙන එම ස්ථානයට ගෙන්වන ලද 1990 සුවසැරිය ගිලන් රථයකින් ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT