නත්තල උදාවෙමින් තිබියදී යාපනය මධ්‍යම බස් නැවතුම් පොළේදී ලංගම බස් රථයක රියැදුරකු හා කොන්දොස්තරවරයකු පෙරේදා (24) රාත්‍රී කඩුවලින් කපා බරපතළ තුවාල සිදු කොට තිබේ. මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ යාපනයේ සිට පසුදින උදෑසන කරෙයිනගර් බලා යාමට නියමිතව තිබූ ලංගම බස් රථයේ රියැදුරු හා කොන්දොස්තරවරයාය. හිස්වැසුම් පැලඳ මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණි තුන් දෙනකු රියැදුරු හා කොන්දොස්තර ආපණ ශාලාවේ සිටියදී ඒ තුළට කඩා වැදී කඩුවලින් කපා පලා ගොස් තිබේ. කඩු ප්‍රහාරයත් සමඟම ඔවුන් දෙදෙනාම බිම ඇද වැටී ඇති අතර අනෙක් බස් රථවල සේවකයින් පිරිසක් පැමිණ ඔවුන් දෙදෙනාව රෝහල්ගත කොට තිබේ.
මෙම ප්‍රහාරය එල්ල කිරීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලීසිය ප්‍රකාශ කරන්නේ බොහෝ විට බස් ආරවුලක් මත ඇති වූ සිද්ධියකින් පළිගැනීම පිණිස මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි. යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.