ටොන් 30ක් පමණ බරැති ඩොලමයිට් තොගයක් පටවාගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ තට්ටු ලොරියක් කහතුඩුව පිවිසුම ආසන්නයේ කිලෝමීටර් 6කණුව අසලදී ආරක්ෂිත වැටේ ගැටී අඩි 30ක් පමණ බෑවුමට පෙරළී සිදුවූ බිහිසුණු අනතුරෙන් 70 හැවිරිදි වයෝවෘද්ධ රියැදුරුගේ දිවි ආශ්චර්යකින් මෙන් බේරි ඇතැයි දක්ෂිණ අධිවේගී රථ වාහන පොලීසිය කියයි.
රියැදුරුගේ පාදයට පමණක් සුළු තුවාල සිදුවී ඇතැයි ද පොලීසිය පවසයි. ලොරිය බෑවුමට පෙරළීමේදී කිලෝ 50ක බරින් යුත් කොට්ට 600කින් යුත් ඩොලමයිට් තොගය සමඟ වට තුනක් පෙරළී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මාතලේ ප්‍රදේශයේ සිට ඇල්පිටිය දක්වා මෙම ඩොලමයිට් තොගය ප්‍රවාහනය කරමින් සිට ඇති අතර කහතුඩුව පිවිසුම ආසන්නයේ දී එකවරම ලොරි රථය වම්පස ආරක්ෂිත වැටේ අඩි 30ක පමණ ප්‍රමාණයක් රූටාවිත් බෑවුමට පෙරළී ඇති බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලීසිය සඳහන් කරයි. තට්ටු ලොරියේ පටවා තිබූ ඩොලමයිට් තොගය ලොරිය අසලම සීසීකඩ වැටී තිබූ අතර ලොරිය ධාවනය වන ආකාරයෙන්ම බැවුමේ පහළ කොටසේ රැඳී තිබූ බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය. සිදු වූ අනතුරින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටේ අඩි 25ක පමණ කොටසකට දැඩි අලහහානි සිදුවී තිබුණි. ලොරි රථ රියැදුරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු දින තුනකින් නිසි නින්දක් නොලැබූ අයකු බවට අනාවරණය වී යැයි ද උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. අනතුර වන අවස්ථාවේදී රියැදුරු පමණක් ලොරියේ සිට ඇති බව පොලීසිය කියයි. රියැදුරු මාතලේ ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකි. දක්ෂිණ අධිවේගී රථවාහන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරුද්ධ චන්ද්‍රසේකර මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති අශෝක කරුණාරත්න, උප පොලිස් පරීක්ෂක සරත් පෙරේරා, පොලිස් කොස්තාපල්වරුන් වන (83664) සුදර්ශන, (40203) ජයසූරිය යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.