Home » මීගොඩ හෙල්ලූ ‘හඳයාගේ’ ප්‍රධාන ගෝලයා මාට්ටු

මීගොඩ හෙල්ලූ ‘හඳයාගේ’ ප්‍රධාන ගෝලයා මාට්ටු

by mahesh
December 26, 2024 1:00 am 0 comment

නුගේගොඩ සමූහ - සමීර අබේසිංහ බණ්ඩාරගම - බිමල් ජයසිංහ

මීගොඩ පොලිස් වසම භීතියට පත් කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැළුණු දැනට විදෙස් රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘හෝමාගම හඳයා‘යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන තනූජ සම්පත් නමැත්තාගේ ප්‍රධානතම ගෝලයකු වන පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි, මිලිග්‍රෑම් 100ක ප්‍රමාණයක් සහ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 05යි, මිලිග්‍රෑම් 900ක් හා මත්ද්‍රව්‍ය විකිණීමෙන් උපයා ගත් මුදල් රුපියල් දස දහසක් සමඟ පෙරේදා (24) සවස අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීහු පවසති.

නුගේගොඩ කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථාපිතව ඇති යතුරුපැදි ඒකකයේ ස්ථානාධිපතිවරයාට සැකකරු මීගොඩ ප්‍රදේශයේ ස්ථානයක සිටින බවට ලද රහසිගත තොරතුරක් මත වැටලීමක් සිදුකොට සැකකාර පුද්ගලයා මත්ද්‍රව්‍ය ද සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට පත් වූ සැකකරුට පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කඩුවෙල අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක වරෙන්තුකරුවකු ලෙස අත්අඩංගුවට ගැනීම සඳහා නියෝග ලද පුද්ගලයෙක් බවත් කප්පම් ගැනීම් හා පහරදීම් මෙන්ම මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් මෙම සැකකරු සොයමින් සිටි පුද්ගලයෙක් බවත් පොලීසිය පැවසීය.

ඩුබායි රාජ්‍යයේ සිට හඳයා නමැති සංවිධානාත්මක අපරාධකරු විසින් මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධානතම බෙදුම්කරු ලෙස අත්අඩංගුවට පත් සැකකාර පුද්ගලයා සේවය ලබාදී ඇති බවත් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය කර ගැනීමට හැකි වූ බව ද පොලීසිය පවසයි.

සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT