Home » පෙම පැරදුණු සොවට සිසුවිය නියඟලා අලයක පිහිට පතලා

පෙම පැරදුණු සොවට සිසුවිය නියඟලා අලයක පිහිට පතලා

by mahesh
December 26, 2024 1:00 am 0 comment

පුත්තලම අතිරේක හිරාන් ප්‍රියංකර ජයසිංහ

ප්‍රේමයෙන් පරාද වූවාට කලකිරී 15 හැවිරිදි පාසල් සිසුවියක නියඟලා අල කා විෂ ශරීරගත වීමෙන් දින දෙකකට පසු මරණයට පත්ව ඇතැයි වනාතවිල්ලුව පොලීසිය පවසයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ වනාතවිල්ලුව, විජයපුර ප්‍රදේශයේ පාසලක 10 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටි 15 හැවිරිදි විහඟි නවෝද්‍යා අමරසිංහ නමැති සිසුවියකි. මේ සිසුවිය පසුගිය 23 දින හදිසේ නිවෙසේ සිටියදී වමනය හා පාචන තත්ත්වයක් හේතුවෙන් දැරිය හා දැරියගේ බාල සොහොයුරු සොහොයුරියන් රැකබලාගන්නා මුත්තණුවන් හා මිත්තණිය විසින් වනාතවිල්ලුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ප්‍රතිකාර දීමෙන් පසු නැවත නිවෙස වෙත යවා තිබිණි.

කෙසේ වෙතත් නිවෙසට රැගෙන ගියද රෝගි තත්ත්වය සුව අතට නොහැරීම හේතුවෙන් නැවත පුත්තලම නගරයේ පෞද්ගලික වෛද්‍යවරියකගෙන් ප්‍රතිකාර ගෙන ඇති නමුත් එයටද සුව වී නැති බව කියයි. මෙහිදී සිසුවියගේ මුත්තණුවන් හා මිත්තණිය කිසියම් දෙයක් ආහාරයට ගත්තාදැයි ඇයගෙන් විමසා සිටියද ඊට පිළිතුරක් නොදීමෙන් පසු බාල සොහොයුරා හඬමින් විමසීමේදී ප්‍රේම සම්බන්ධතාව බිඳවැටීම හේතුවෙන් නියඟලා අල හා මල් තුනක් තළා කෑ බව පවසා තිබේ. ඒ සමඟම මුත්තණුවන් හා මිත්තණිය මේ දැරිය පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබූ අතර, රෝහල්ගත කර පැයකට ආසන්න කාලයක් ඇතුළත ඇය මරණයට පත්ව ඇත.

මේ සිසුවියගේ පියා මව සමඟ දරුවන් තිදෙනා තනි කර යෑමෙන් පසු මව මේ දරුවන්ට රැකවරණය දෙමින් සිටියද වසර කිහිපයකට පෙර ඇයද දරුවන් දමා යෑමෙන් මුත්තණුවන් හා මිත්තණිය දරුවන් තිදෙනා රැක බලා ගෙන තිබු නමුත් දැඩි ආර්ථික ප්‍රශ්න හමුවේ මේ දරුවන් මහත් අසරණකමින් පෙළුණු බව අසල්වැසියෝ පවසති. දරුවන්ට මවත් පියාත් නොමැති වීමෙන් පසු ඔවුන් විවිධ බලපෑම්වලට ලක් වෙමින් දිවි ගෙවා ඇති බවද පැවසිණි.

මේ දැරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූ පුත්තලම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යූ.එල්.එම්.එස්. පෙරේරා මහතා මේ මරණය අධික විෂ සහිත නියඟලා ශරීරගත වී සිරුර අභ්‍යන්තරයට හානි වීමෙන් මේ මරණය සිදුව ඇති බව නිගමනය කර තිබිණි.

පුත්තලම රෝහල් පොලිසියේ පොලිස් කොස්තාපල් (87165) වනසිංහ මහතා මරණ පරීක්ෂණයේදී සාක්ෂි මෙහෙයවූ අතර, වනතාවිල්ලුව පොලීසියේ පොලිස් සැරයන් (35387) රස්නායක මහතා පරීක්ෂණ සඳහා එක් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT