Home » භික්ෂූන් වහන්සේලාට විධිමත් හැඳුනුම්පත් නිකුත් කිරීමට වැඩපිළිවෙළක් සකසන්න

භික්ෂූන් වහන්සේලාට විධිමත් හැඳුනුම්පත් නිකුත් කිරීමට වැඩපිළිවෙළක් සකසන්න

මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමි

by mahesh
December 26, 2024 1:00 am 0 comment

අසේල කුරුළුවංශ

අයත් වන නිකාය සහ වැඩ වාසය කරන විහාරස්ථානය ඇතුළු සියලු තොරතුරු ඇතුළත් විධිමත් හැඳුනුම්පතක් සියලුම භික්ෂූන් වහන්සේලාට නිකුත් කිරීම සඳහා වන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු යැයි මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති.

රාවණා බලය සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස සහ සිංහලයේ සංවිධානයේ මහ ලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමිවරුන් පෙරේදා (24) උන්වහන්සේ බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදී මේ බව පැවැසීය.

ත්‍රිරෝද රථ රියැදුරකුට සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු යැයි පැවසෙන පුද්ගලයකුට සිවුරු පොරවා ඔවුන්ගේ රෝග සුව කළේ යැයි ජනතාව මුලා කරමින් ජෙරම් නැමති පාස්ටර්වරයා බුදු දහමට අපහාස කරමින් සිදු කරන අකටයුතු සම්බන්ධයෙන් මැදිහත්වන ලෙස මෙහිදී ඉත්තෑකන්දේ සද්ධාතිස්ස සහ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමිවරුන් මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගෙන් ඉල්ලීමක් කළහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහනායක හිමියෝ මෙලෙස කීහ.

“දිගින් දිගටම මේ ආකාරයෙන් බුදු දහමට අපහාස කිරීම මේ රටේ බෞද්ධ ජනතාව තවදුරටත් ඉවසන්නේ නෑ. මෙවැනි ක්‍රියාවලට එරෙහිවීම සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නීතිමය කටයුතුවලට පවා මැදිහත් වෙන්න සිදු වුණා. මහානායක පදවියට පත් වූ අවස්ථාවේ සිටම මම රජයන්ගෙන් ඉල්ලා සිටියා මෙරට සිටින සියලුම භික්ෂූන් වහන්සේලාට විධිමත් භික්ෂූ හැඳුනුම්පතක් නිකුත් කරන්න කියලා. මේ වැඩසටහන ආරම්භ කර සල්ලි නෑ කියලා අතරමඟදී නවතා දැමුවා. දැන් මේකට සල්ලි දෙන්න ඕන තරම් අය ඉන්නවා. මේ වැඩේ නැවත ආරම්භ කරන්න කියලා මම වගකිව යුත්තන්ගෙන් ඉල්ලනවා. මේ වන විට වරෙන්තුකරුවන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්, පච්ච කොටා ගත් පුද්ගලයන් වගේම යාචකයනුත් සිවුරු ඇඳගෙන බුදු දහමට නිග්‍රහ කරනවා. මේවා නව නීති සකස් කර හෝ නැවැත්විය යුතුයි.”

මෙහිදී අදහස් දැක්වූ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික දොරණෑගම රතනපාල නාහිමියන් පැවැසුවේ ජෙරොම් නැමති පුද්ගලයා නාවලපිටිය ප්‍රදේශයේ ආගමික සිද්ධස්ථානයක් සෑදීමට උත්සාහ කළ අවස්ථාවේ එම ප්‍රදේශයේ ජනතාව ඊට විරෝධය පෑම නිසා එය නතර වූ බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT