සීතල නත්තලේ සුළං රැලිවලට තුරුල් වී සිටි දුමින්ද වටපිට බලමින් හෙමිහිට ගෙයින් පිටවූයේ කොහාට යන්නදැයි ඔහුගේ මව ලොකු හාමිනේ නොදත්තාය. එහෙත් ඇය සැක පහල කළේ ඔහුගේ ගජ මිතුරකු වන නිමල් හමුවන්න යනවා ඇතැයි සිතමින් ය. දුමින්ද පිටත්වීමට පෙර කාමරයට වී හැඩවැඩ වෙනවා ඇය දුටුවේ බාගෙට ඇර තිබූ ජනේලයෙනි.
“කමක් නැහැ මේක ගැළපෙන මංගල්ලයක් නම්” ඈ තමාටම කියාගත්තේ තවමත් ඇගේ කේන්තිය නොසිඳ ඇති බැවිනි.
ලොකු හාමිනේ පුංචි වලව්වේ මුදලිහාමි පරම්පරාවේ අන්තිම පුරුකය. පරම්පරාව ගැන අභිමානයෙන් කතා කිරීම ඇගේ පුරුද්දය.
“ජේන් නෝනේ, අරන් වරෙන් ඔය බුලත් හෙප්පුව.” ලොකු හාමිනේට කීකරු වූ ජේන් එය ගෙන ආවේ ලොකු හාමිනේට ඈ සමඟ කතා කිරීමට යමක් ඇති බව සිතුණ නිසාය.
“මේ පුවක් කෑල්ල සුද්ද කරලා දීපන් ජේන්.” ඒ අතරේ ලොකු හාමිනේ කතාව ඇරඹුවාය.
“බලපං ජේන් නෝනේ. බොටත් මටත් දැන් වයසයි. මුදලිහාමි පරම්පරාවේ කිසිම කෙනෙක් නම්බුව කෑවේ නෑ.” ලොකු හාමිනේ කියත්ම ජේන් හිස වනා එය අනුමත කළාය.
“උඹ මේ වලව්වට ආවේ අපේ මනුස්සයා බණ්ඩාර මහත්තයා මියගියාට පස්සෙ. ඉතින් උඹ දන්නවනෙ අපේ වලව්ව ගැන.”
“ඔව්, ඉතින් කිසිම කෙනෙක් එන්නෙ නැහැනෙ.” ජේන්ට කියවුණි.
“ඒකත් එහෙම තමයි. මං කියන්න හැදුවේ මේ වලව්ව පාළුවට අරින්න බැහැනෙ බං.” ඈ ජේන් දෙස බැලුවාය.
“ඉතින් හාමිනේ, ඕකට තියෙන්නෙ දුමින්ද මහත්තයාට හොඳ තැනකින් කරකාරයක් කරදෙන එකනෙ.” ජේන් පැවසුවාය.
“සට පට, සට පට” ගමේ ඈත කෙළවරක රතිඤ්ඤා පුපුරන හඬක් ඇසිණ.
“නත්තල නම් ජය පාටයි.” ජේන් කතාවට බාධා කළාය.
“ඔව් බං. ඔය සද්දේ ආවේ සීතා නෝනලගේ ගේ දිහාවෙන්. ඒගොල්ලන්ට දැනටත් නත්තල් ඇවිල්ල වගේ.” ලොකු හාමිනේ කීවේ යමක් සිත යට සඟවාගෙන බැව් ජේන් හොඳටම දනී.
“සීතා නෝනා උණ ගැනිලා රෝහලේ හිටියලු.” ජේන් පැවසුවාය.
“උඹ කොහොමද දන්නේ?” ලොකු හාමිනේ කලබල වූවාය.
“ඊයේ පොළේදී මට අරුණිව හමුවුණා.”
“අරුණි.”
ලොකු හාමිනේගේ මුහුණ ඇඹුල් වී ගියේය. ඇස් රතු වූයේය.
“ඔව් හාමිනේ, ඔව්.”
“තුක් විතරක්.” ලොකු හාමිනේගේ අකැමැත්ත එලෙස පළකළාය.
ලොකු හාමිනේ හිස් අහස දෙස මඳ වේලාවක් බලා සිට කතාව ඇරඹුවාය.
“ඔය අරුණි තමයි මගෙ කොලුවව නැති කළේ. මං කොච්චර කිව්ව ද ඔය කෙල්ල උඹට ගැළපෙන්නෙ නෑ කියලා. කෝ ඇහුව ද? කනකට ගත්තෙ නෑ.”
“ඇයි හාමිනේ එහෙම කියන්නෙ?”
“එහෙනං අහගනිං.” ලොකු හාමිනේ කතාව ඇරඹුවාය.
“ඔය මිනිස්සු මාළු විකුණලා ඊයේ පෙරේදා පොහොසත් වුණු මිනිස්සු. ඒ වගේ ද අපි. බණ්ඩාර මහත්තයාට ඒ කාලේ හැටියට ලක්ෂ ගාණක බූදලයක් තිබුණා. ඒ ගොල්ලන්ගෙ තාත්තා ගමේ මුලාදෑනියා. වතුපිටි, ගේ දොර, කොච්චර දේපළක් ද. මේ සේරම දේපළ මගෙ පුතාටනෙ. කරුමෙක හැටි.” ලොකු හාමිනේ සුසුමක් හෙළා සන්සුන් වූවාය.
“ජේන් නෝනේ, අර ෆ්‍රිජ් එකේ තියෙන කොකාකෝලා බෝතල් දෙක අරන් වරෙන්කො.”
“ලොකු කතාවකටයි ලෑස්තිය.” කෑම කාමරයට ගිය ජේන් කොකාකෝලා බෝතල් දෙක ගෙනවිත් ලොකු හාමිනේ ඉදිරියේ තැබුවාය. තමාගේ දුකට සැපට ළඟ ඉන්න ඇයට ලොකු හාමිනේ කිසිවක් නොසඟවන බව ද ජේන් දනී. ලොකු හාමිනේ ද ජීවිතය පිළිබඳ සියලු දේ ජේන් සමඟ කතා කළාය. සමහර දිනවලදී දෙදෙනා අතීත සිදුවීම් ගැන කතා කළාය. පැරණි කවි, ගීත ගායනා කළාය. එක්ව ගිය වන්දනා ගමන් ගැන තොරතුරු මතක් කරමින් සතුටු වූවාය.
“ජේන්, මට එකක් දියන්. උඹ ගනිං අනිත් එක.” මඳ නිහැඬියාවකින් පසු ලොකු හාමිනේ හඬ අවදි කළාය.
“උඹ කියහන් ජේන්. මම මොකක්ද මේකට කරන්නේ.?”
“හාමිනේ, ඔය ජාති භේද, ආගම් භේද ගැන ඕනවට වඩා හිතන්න එපා. හැමෝටම ආගමක්, ජාතියක් තියෙනවා. අපි බෞද්ධයෝ. අරුණි නෝනලා වෙනත් ආගමක. ඒ වුණාට හැමෝම මිනිස්සුනේ.”
“අනේ උඹ දන්න කෙංගෙඩිය. අපි කොහොමද සමාජයට මුහුණදෙන්නෙ. වලව්වේ ගෞරවය රැකේවි ද.?”
“හොඳම දෙයක් තියෙනවා කරන්න.”
“ජේන් කියපං බලන්න උඹේ හොඳම දේ.”
“අපි මේ ප්‍රශ්නෙදී වැඩිහිටි උගත් කෙනෙක්ගෙන් උපදේශයක් ගනිමු.”
“කවුද බං එහෙම උපදේශයක් දෙන්න ඉන්නේ?”
“අපි යමු ලොකු නෝනෙ, ලොකු හාමුදුරුවො ළඟට. ලොකු හාමුදුරුවො අපිට උදව් කරයි.”
“අදහස හොඳයි. අපි ගිහින් ලොකු හාමුදුරුවෝ දකිමු.”
ඝන්ටා නාදය ළඟ ළඟම ඇසෙන විට දෙදෙනාගේ ගමන ද ඉක්මන් විය. මල් සුවඳින් පන්සල් බිම සුවඳවත් වී තිබුණි. ලොකු හාමුදුරුවෝ සවස පූජාවට සූදානම් වී සිටියි. පන්සල් මිදුල අමුතුම සිරියාවකි.
ලොකු හාමිනේත් ජේන් නෝනාත් හාමුදුරුවන්ට නමස්කාර කළහ.
“මොකද අද මේ පැත්තේ?”
“මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා හාමුදුරුවනේ, ඒකට සහනයක් ලබාගන්නයි මේ ආවේ.” ලොකු හාමිනේ පැවසුවාය.
“හොඳයි. අපි ගෙට ගිහින් කතා කරමු.”
ලොකු හාමුදුරුවෝ දුන් පැදුර එළා දෙදෙනාම ඉඳගත්හ. පුටුව මත ඉඳගත් හාමුදුරුවෝ “දැන් ඉතින් කියමු බලන්න ඔය ලෙකු ප්‍රශ්නෙ.”
හොර රහසේම කඳුළු පිසදාගත් ලොකු හාමිනේ කතාව පටන් ගත්තාය.
“අනේ හාමුදුරුවනේ අපේ පුතා, දුමින්ද විවාහ වෙන්න හදනවා.”
“ඒක හරිම හොඳයිනෙ හාමිනේ.”
“ඇත්ත හාමුදුරුවනේ. මේකනේ ප්‍රශ්නෙ. පුතා බඳින්න ඉන්න ගෑනු ළමයා අපේ ආගමේ නෙමෙයි.” හාමුදුරුවන්ට සිනාවක් පහල විය.
“හාමිනේ විවාහයට ඔය කිසිම දෙයක් බාධාවක් නොවේ. ඒක උත්තරීතර දෙයක්. ඒක ඒ දෙන්නගෙ ලෝකය. ඔය භේද තියාගන්න එපා. කොයි ආගමේ වුණත් කියන්නෙ මිනිස්සුන්ට සමගියෙන්, සතුටෙන් ජීවත් වෙන්න කියලනේ. ඒකට ඔය ජාති භේද, ආගම් භේද අදාළ නෑ.”
සට පට, සට පට, ගිනිකෙළි පිපිරී ගියේය. ගේට්ටුවෙන් ඇතුළු වූ කාරය වලව්වේ මිදුලේ නතර විය. ඥාති පිරිස කලබල විය. සියලු දෙනාගේම ඇස් යොමු වුණේ නව යුවළ දෙසටය. කලබලයෙන් ඉදිරියට ගිය ලොකු හාමිනේ නව යුවළ සිප වැලඳ ගත්තාය. දෙනෙතින් ගැලූ සතුටු කඳුළු සාරි පොටෙන් පිසදා ගත්තාය.
“හැම ආගමකම කියන්නෙ හොඳින් ජීවත්වෙන විදිය.” ලොකු හාමිනේට හාමුදුරුවන් කී දෙය මතක් විය. ඇය මනසින් සාධු හඬ නැගුවාය.
ජේන් නෝනේ, “සීදේවි කෙල්ල බං. අපේ පුතාට හරියටම ගැළපෙනවා. මට හරිම සතුටුයි” ලොකු හාමිනේ, ජේන් නෝනාගේ අත තදින් අල්ලා ගත්තාය.
මේ තමයි නත්තලේ අරුත. එකට අත්වැල බැඳගන්න එක.
එච්. ඒ. ජයසිංහ