නර + නරි
ටික දෙනෙක් වැඩිපුරත්
ගොඩ ගසා ඇති නිසා….
හුඟ දෙනට කිසිත් නැත
පැවසීම නැත මුසා
නැතිකමේ ශාපයෙන්
හොරකමින් හිත වසා
මේ විෂමතාවයෙන්
මුළු ලොවම
ඇත නසා…
නන්දසිරි ගිංතොට
නිබ්බුත පද
වත්මනෙහි
අම්බපාලියන්
පසුපසම ඇදෙන
අමුතු පිරිමින්ගේ
මුවින් නික්මෙන
පුහු වැණුම්
මාගන්දියා
රතී රඟාලට
නිබ්බුත පදයි
පවිත්‍රා සෙව්වන්දි
කවි හිත බරක්
මතක මළුවක අතැර කවියක්
මල් සුවඳ ඇදුනා දුරක්
ඇසක තෙත කොයිතරම් දන්නවද
හාදු හිමි නැති දෙකොපුලක්
යන්න ඉඩ දී බලා උන්නැකි
ලඟ උන්නෙ මොහොතක් වුණත්
පොතක් වෙනවට වඩා වැඩියෙන්
කවි හිතක් දරනෙක බරක්..!
තිළිණ ගාල්ලගේ
සහස් පැතුම්
ගිම්හානෙක දැවුණු පැතුම්
මඳ සුළඟින් යලි පණ නැඟෙනා
හිතමිතුරු ඒ වසත් සමයයි
නීල වර්ණ පෙම් වැහි වහිනා
දිගු වුවත් මේ ගෙවන රෑ යම
හෙට පෙනේ නෙක මල් පිපෙනා
බලන් සඳකැන් රශ්මි අතරින්
වැටෙන පිනි බිඳු නොම සැලිලා
ගිමන් නිවමු අපි අරුණ වැටෙන තුරු
සහස් පැතුම් රැස පොදි බැඳලා
ටී.ඒ. දිල්ක රවිහාර
අපට අප විතරමය
මාත් අම්මාත්
උපන්නේ එකම දිනයක
අම්මා අම්මා ලෙස
මම දුව ලෙස
දස මසක්
බැඳ තිබුණු පෙකණි වැල
නන්නාඳුනන කතුරකින් කපා
එකම සිරුරක් දෙකඩ කර
දෙපසකට වෙන් කළද
නුඹෙ ළයෙන් වෑහුණ
පලමු කිරි බිඳුවම
තොලගෑ මම
පැළවී වැඩුනෙමි
අලුත් ජීවියකු ලෙස
ඒත් අම්මේ…..
තවමත් නොහැකි විය
කපාගන්නට
හදවතේ පෙකණි වැල
අහස ගුගුරා අසනි වැටි සැන
කොහේ කොතනක වුව
නුඹට මම
මටද නුඹ
අපට අප විතරමය
ෂර්මිලා බංදුනී දංවත්ත
පාවහන් ඔපලන්නා
පසෙක කොලොම්බුව මත
අඩක් කෑ
පුච්චාපු කහ බතල කොටයකි
උණුසුම් උදා ආචාරයෙන් පසු
අසුන් පනවනු ඇත ඔහු මට
රතු විල්ලුද කුෂනය මත
ගලවා දුනහොත් මිරිවැඩිය
උරණ වේය එසැනින් මමිතුර
බැතින් ගෙන මා දෙපා ඔපලන
මැසිමකි බෝ කඩිසර
හරවමින් සොයමින්
හම ගිය ඉරි තැළුන තැන්
හීං ඇස් තව තව කුඩා කර
තවරමින් ඉටි තලි තලි
අවසන
යුවාන් දෙකකට සරිලන
කුඩා සිහි කැඳවුමකි අමතර
එනම්, ඊළඟ ශිශිරයට පෙර
ඉවත හල යුතු බව
පිටරැටියා ඇගේ හම්පඩ සපත්තුව
ඉතිං මේ දෙසැම්බරයේ
සීතල හුළං රැල් මෙහි එනවිට
බොහෝ කලකට පසු
පළමු වරට වේ සිහි කැඳවුම
කිළිටි හිම බැඳුනු පටු මංපෙත
හපමින් සූරියකාන්ත ඇට
දුම් දම දම
තවමත් ඉන්නවා ඇති ඔහු
මග බල බල
යැන්ග්සි ගඟබඩ ඒ නගර කොන
අමා ඔවිනි අලුත්ගේ
දායාර්දය
උඳුවප් සීතල කැටි කළ
හිරිපොද
උණුහුමින් පිළිගන්න
සෙවිලි අබලන් පියස්සකි
ගෙහිමියන් පවා
හදවතින් තුරුල් කරගන්න
පුරු පුරු හඬ නඟන
පූස් සුරතලෙකි
පාන් පෙති කිහිපයක්
එක පිඟානක හොවා
සීනි අහුරකින්
පැණි හිනා නඟන
පුංචි පැටව් රොත්තකි
හුරුපුරුදු පාටින්
දිලිසුම් අඩු
ගෙජ්ජි
තුන හතරකි
හිනා හඬ අතරතුර
විටින් විට මතුවෙන
යුහුසුළු කසුකුසුවකි
තැන තැන බිඳුණු මුත්
නොරිදවා සරසන
ආගන්තුක නොවන
ප්ලාස්ටික් නත්තල් ගසකි
ඇසුරුම් කළ
මනරම් තෑගි පෙට්ටිවල
පීත්ත පටියක් නොලිහන
ප්‍රේමය තුරුල් වෙන
සුභ නත්තලකි.
හීන වූ ආදරේ
කණ කොකා ඉගිලුණත්
දික්කසාදය රැගෙන
ඇයව ඇපයට තබා
මුදල් ගෙන ඉගිල ගිය
ණය ගෙවා නැති නිසා
ගුරු වැටුප හරවගෙන
බැංකු කිහිපයක ණය
කුලී ගෙදරක මැණික
පාසලේ අසමත්ම
සිසුවෙකුව සිටි කලෙක
ඇය සවිය වූ එදා
සිහි කරමි තවම මම
හීන වූ ආදරේ
ශේෂ පව් ගෙවාගෙන
ප්‍රේමයෙන් අසමත්ව
ඇය දෑස් පියාගෙන
ණයට ගත් වචන
ඔබ දුටුව විසි වියැති
සොඳුරු යුවතිය දැන්
මා තුළින් දකින්නට නැතුවැති
ගෙවී ගිය දෙවිසිවස
මට අසීරුම යුගයක් බව
ඔබ තරම් හොඳහැටි
කවුරුවත් දන්නැතුවැති
ඔළු තුනේ මකරෙකුට
එරෙහි වී සටන් වැද
යාන්තම් පණ ගලවගත්තත්
යකඩ හැරමිටි, තොප්පි හිමි
සුරඟන ඉවාන් නොවෙයි
සැතින් සිඳ වරින් වර
එන්නතින් පෑරූ
නිකන්ම ගෑනියෙක් මම
කෙස් අඩුයි , හම රැලියි
ඇස් වටෙත් කළුයි ,
අතපයත් කැහැටුයි
ඒත් තාමත් මං මංමයි….
මාව මඟහරින ඔය ඇස්වල
කතා මට පැහැදිලියි
වයසටත් වඩා වයසට ගියේ
මගේ ගත විතරයි
හිත එදා වගෙමයි …
“මගේ පණ” ඒ කාලෙ
ඔයා මට කී කතා
වැස්සකට හේදිච්ච ගානයි
ඉතින් දැන්….
පණ කියන්නෙත් මට
ණයට ගත් වචනයක් විතරයි
හර්ෂනී මහත්මා ආරච්චි
විඳගමි දුක ගෙතුළ ඉඳ
සිටියා වැඩි කෙනකු වෙද හේ වැඩිහිටිය
පදරුත දොස ඇත ද උවහස දෙන සැටිය
ආ මග දිගුය යාමට ඇති මග කෙටිය
ඒදඬුවකිය දෙලොවට බැඳි සැරයටිය
බොඳ ඇස ,විය විදැස නුදුටුව ලොව දකින
සවනත වැසින, දොස දෙන බස මග හැරින
ගරු සරු විඳගනුව ඉහ නිකටද පැහින
සැපෙකැයි සිතමි වැඩිහිටිකම අප ලබන
හිස නර කෙසට රිදවා සිත වනට වැද
නොගියෙමි තපස ,විඳගමි දුක ගෙතුළ ඉඳ
උගතිමි දහම දිවි නිම වන මොහොතෙහිද
දකිනෙමි නිවන සුතන’ඹු මුනුබුරු වැලඳ
එදවස නැගුණු පැන මහ මෙර ලෙස දැනුණු
අද අබ ඇටක පමණටවත් ගත නොහුනු
සිතිවිලිවලට නොගැතිව රළ ලෙස නැගුණු
බල බිඳ නිසලවනයුර සිහියට නගනු
උසම කඳු මුදුනකට
උසම උස කන්දකට
ජීවිතය කියමි
ඉන් ගලන උල්පතක
සැනසීම සොයමි
ලැබුණොතින් සිසිලසක්
සප්ත ස්වර වයමි
ගල් බොරළු හමුවුණත්
මගදි හැර නොයමි
මල්කා රත්නතුංග
නත්තල
තනි තරුවකට පෙම් බැඳි මැදියම් රැයකි
සුබ පැතුමකට ඉඩ හැරි සීතල දිනකි
පැතුමන් එළඹ වන ලොවටම සෙත් මගකි
මේ ලියවුණේ නත්තල සුබ වෙන කවකි
හීතල හුළඟ ළග නැහැවෙන මැදුර තුළ
දෙව් කුමරුවෙක් සිටියාලොව නිවන්නට
සාමය ලබා දෙන පණිවිඩ අතෙහි ගෙන
සනසන පැතුමකට අවසර දුන්නා ඉඩ
අසුරු සැණ මට දෙන්න
හෝරාව ඔබේ
ඔබ ගන්න
අසුරු සැණ
මට දී
එ සැණ
මට
ප්‍රේමයෙන්
ආර්ද්‍රව
හිඳින්නට
චමින්ද රොෂාන්
මානසික රෝහලේ සිට
නොසිඳෙන උල්පතක් සරිව
උනනා අධිවේගී සිතුවිලි
සිතේ සාමය මකා
සැකයේ දරුණු රෝගකාරකයන්
එන්නත් කරයි මනසට
අනාගතයේ වේදැයි නොවේදැයි නොදන්නා
පදනම් රහිත චින්තා
සිතිවිලි නදියේ ගිල්වාලයි
රෝ දුක් තිළිණ කරනා
ගැටුමට පුරුදු කරනා
මේ සිතුම් නසන මග කියන් වෙදැදුරනේ
නැතහොත් මා ජීවිත කාලයටම
නිර්වින්දනය කරනු මැන
වෙදැදුරණි.
පැතුම් බුද්ධික ලියන්ගේ
දිවි කඳුර’ග අහස් ගවුව
පියෙන් පිය නඟිනවිට ගිර මතට
තැනින් තැන ගිමන්හළ යුතුය පුත
ලොමු දැහැවෙන – හිරිගඩු එන
ගිරි පාමුල ප්රපාතය ද
නුඹ ඉහළට යන්න යන්න
තව යටට ම ගිලා බසියි
ඈත සිටන් සීත සුළං
කීං කීං හඬ අරගෙන
ඉඳිකටු තුඩු ගවසාලා
නුඹ ඉහමොළ සිදුරු කරයි
ගිරි මුදුනට නුඹ යනවිට
මීදුම් පොදි ගලා ඇවිත්
ඇස් පටලය බොඳ කර කර
නුඹ මාවත මුලා කරයි…
ජීවන ගිරිකඳුර පුරා
තැන තැන එල්ලී පැළවුණු
තෘණ පත් මත රැඳි පිණිදිය
නුඹවෙත විත් සෙමෙර සලයි
කාල පැහැ මේකුළු ඇවිත් හිස-
මුදුන කැරකී බමන විට පුත
ඒ මතට එන අසෙනි එළියෙන්
මග හොඳට විවරව පෙනෙයි සිත (සිතව පුත)
අනෝරා වැහි බොරලු වැටුණමුත් ඉහ මතට
තම අතම සෙවණැල්ල ම ය තමන්ගේ හිසට
සිතා ඒ බව
ගිරි මුදුන සුපීදුණු
සහස්පත දිනනු පුත
පරගල නාරද හිමි