Monday, April 21, 2025
Home » අලුත් වෙන්න යන තැපෑලට රජයෙන් සැලසුම්

අලුත් වෙන්න යන තැපෑලට රජයෙන් සැලසුම්

by chanaka
December 26, 2024 7:05 am 0 comment

වඩාත් නව්‍යකරණය වූ කාර්යක්ෂම, විශ්වාසනීය තැපැල් සේවාවක් ගොඩනැගීමට රජය සැලසුම්කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ‌මෙම අදහස් ප්‍රකාශ කළේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කොළඹ ශ්‍රී ලංකා තැපැල් මූලස්ථානයේ වත්මන් සේවා කටයුතු සහ ඉදිරි සැළසුම් නිරීක්ෂණයට ලක් කිරීමටත්, සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ දී තැපැල් සේවයේ සියළු වෘත්තීය සමිති නියෝජිතයින් හමුවෙමින් ඔවුන්ගේ වෘත්තීය ගැටළු සාකච්ඡා කිරීමටත් පසුගිය දා එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුව දැනට සිදු කරනු ලබන සේවාවන්, ක්‍රියාත්මක ව්‍යාපෘති, ඉදිරි සංවර්ධන ව්‍යාපෘති, ශ්‍රී ලංකා තැපෑල මුහුණ දෙන වර්තමාන අභියෝග, ගැටළු සහ සැලසුම් පිළිබදව අමාත්‍යවරයා සොය බලන ලද අතර එමෙන්ම දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන ආදායම් මාර්ග පිළිබදවද ගැඹුරින් කරුණු සොයා බලනු ලැබීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නිසි අරමුණකින්, සැළසුම් සහගතව කටයුතු කරන බව පෙනී යන බවත්, රජයේ අරමුණ පවතින ගැටළු නිරාකරණය කර ගනිමින් මෙම ‌ ඓතිහාසික සේවාව ජාතික සේවාවක් ලෙස නවීකරණය කර පවත්වා‌ගෙන යාම බව ද පැවසීය. විශේෂයෙන්ම දේශපාලන හෝ පුද්ගල වුවමනා මත නව තැපැල් කාර්යාල ස්ථාපිත ‌කිරීම මින් ඉදිරියට සිදු නොකරන බව අවධාරණය කලේය. එමෙන්ම තැපැල් දෙපාර්තුමේන්තුවේ ඉදිරි සැලසුම් අවම වශයෙන් ඉදිරි වසර 10 ක කාලපරිච්චේදයකට කළ යුතු බවත් එහිදී නිසි අවබෝධයෙන් යුතුව දෙපාර්තුමේන්තුවටම අදාල වු සැලසුමකට ක්‍රියාත්මක විය යුතු බවත් සංචාරක ක්ෂේත්‍රය පිළිබද අවදානය යොමු කරමින් වඩා ලාභදායී ආයතනයක් ලෙස ගොඩනැගීමට එම සැලසුම් සකස් කල යුතු බවද පෙන්වා දෙන ලදී.

විදෙස් ආධාරයන් ලබාගැනීම ද අරමුණු කරගනිමින් සැළසුම් සහගත ව්‍යාපෘති යෝජනාවක් සැකසීමේ වැදගත්කම ද පෙන්වා දුන් අමාත්‍යවරයා දෙපාර්තමේන්තුවේ ආදායම් මාර්ග පෞද්ගලික ආයතන සමග තරග කළ හැකි ලෙස දියුණු කර ගත යුතු බවත්, ආදායම් උත්පාදනය කළ හැකි තවත් ක්ෂේත්‍ර ගණනාවක් දෙපාර්තමේන්තුව සතුව වන බව ද පැවසීය. සමහර ක්ෂේත්‍ර මඟහැරී ඇති බවත්, සමහර ක්ෂේත්‍ර සදහා යොමු කර ඇති අවධානය ප්‍රමාණවත් නොවන බව පෙනී යන බව ද පැවසූ අමාත්‍යවරයා සේවාවන් ඩිජිටල්කරණය සදහා අවතීර්ණය වීමේ අවශ්‍යතාවය ද පෙන්වා දෙන ලදි. දෙපාර්තමේන්තුව ජනතාව අතර ජනප්‍රිය කරන ආකාරය පිළිබදව අවධානය යොමු කරන ලෙස ද නිලධාරීන් ඇතුලු වෘත්තීය සමිති නියෝජිතයින් හට මෙහිදී වැඩිදුරටත් උපදෙස් ලබාදෙන ලදි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස මෙරට තැපැල් සේවාවේ කටයුතු අධීක්ෂණයට පියවර ගැනීම සහ වෘත්තීය සමිති ගැටළු පිළිබදව අවධානය යොමු කිරීම පිළිබදව ද තැපැල් මූල්ස්ථානයේ නිලධාරීන් සහ වෘත්තීය සමිති නියෝජිතයින් අමාත්‍යවරයාට සිය ස්තූතිය පුද කරන ලද අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අමාත්‍යවරයා හමු වූ වෘත්තීය සමිති නියෝජිතයින් සිය ප්‍රධාන වෘත්තීය ගැටළු කිහිපයක් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, තැපැල්පති එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී සත්කුමාර, නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) එච්.එම්.ප්‍රේමචන්ද්‍ර හේරත්, නියෝජ්‍ය තැපැල්පති (පාලන) ජී.සී.අයි. ද සිල්වා, නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන) තුසිත හුලංගමුව මහතා ඇතුලු තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT