Monday, April 21, 2025
Home » 2023 වසරේ බන්ධනාගාර නිලධාරීන්ට කෝටි 10ක OT ගෙවලා

2023 වසරේ බන්ධනාගාර නිලධාරීන්ට කෝටි 10ක OT ගෙවලා

සිරකරුවන් ලොක්කන්ගේ ගෙවල්වල වැඩටත් අරන්

by mahesh
December 26, 2024 1:05 am 0 comment

රන්මලී සෝමසිරි

අතිකාල ගෙවීම් දැඩි ලෙස පාලනය කරන ලෙස මහා භාණ්ඩාගාරය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබියදී සේවක වැටුප් හා අනෙකුත් දීමනාවලට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තුව 2023 වසරේදී රුපියල් මිලියන 106ක මුදලක් අතිකාල හා නිවාඩු දීමනා වෙනුවෙන් වැය කර ඇතැයි විගණන පරීක්ෂණයකදී අනාවරණය වී තිබේ.

ගිය වසරේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව අතිකාල හා නිවාඩු දීමනා වෙනුවෙන් පමණක් රුපියල් මිලියන 982ක් වැය කර තිබෙන අතර එම මුදල 2022 වර්ෂයට සාපේක්ෂව රුපියල් මිලියන 106ක වැඩි වීමක් බවත් ජාතික විගණන මහලේකම් කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

මහා භාණ්ඩාගාරය විසින් 2023 ජනවාරි 27 දිනැති 01/2023 අය-වැය චක්‍රලේඛය මඟින් අතිකාල දැඩි ලෙස පාලනය කර තිබියදී මෙතරම් විශාල මුදලක් අතිකාල සඳහා වැය කර තිබූ බව ද එම වාර්තාව මඟින් පෙන්වා දී තිබේ.

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් 2023 සැප්තැම්බර් 12 වැනි දින ලිපියක් මඟින් නිලධාරීන් විසින් උපයනු ලබන මුළු අතිකාල ප්‍රමාණය පැය දෙසීයක් සඳහා අනුමැතිය දුන් බව දන්වා ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

2023 වසරේ දෙසැම්බර් මාසය තුළ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් අවස්ථා 233කදී නිලධාරීන්ගේ නිවාස පරිශ්‍රයන්හි සේවයේ යොදවා ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වේ. එහිදී බන්ධනාගාර නියාමක නිලධාරීන්ගේ මිනිස් දින 234ක් වැය කර ඇතැයි ද තහවුරු වී තිබේ.

මෙම කාල පරිච්ඡේදය තුළ එම නිවාස ආශ්‍රිත පරිශ්‍රයන් වෙත සිරකරුවන් රැගෙන යෑමේ අවස්ථා 62ක් සඳහා බන්ධනාගාර මූලස්ථානයේ වාහන සංචිතයෙන් වාහන 09ක් යොදවා ඇති අතර එම වාහන කිලෝමීටර 372ක් ධාවනය කර ඇත.

2023 ජනවාරි 27 වැනි දින නිකුත් කළ අංක 1/2023 දරන අය-වැය චක්‍රලේඛයේ 2 ඈ (111) ඡේදයේ දක්වා ඇති පරිදි 1003 වැය විෂය සංකේතය යටතේ ගෙවීම් සිදු කරන විට සත්‍ය සේවා අවශ්‍යතාවක් පවතින වැය සඳහා පමණක් ගෙවීම් කළ යුතු බව සඳහන් වුවද ඊට අනුගත නොවී ජේලර්වරුන්ගේ රාත්‍රී මුර සංචාර සඳහා ගෙවීම් කර ඇත.

නමුත් පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථානයේ සිරකරුවන් රාත්‍රී කාලයේදී සේවයේ යෙදවීමකින් තොරව එම පරිශ්‍රය තුළ ජේලර් රාත්‍රී මුර සංචාර සිදු කිරීම වෙනුවෙන් යැයි කියමින් 2023 වර්ෂයේදී අවස්ථා 12කදී රුපියල් 125,200 මුදලක් ගෙවීම් කර ඇති බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් සිදු කර ගෙවා ඇති මුදල් නැවත අය කර ගැනීම සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව දන්වා ඇත.

2018 අංක 19 දරන ජාතික විගණන පනත සහ 1971 අංක 38 දරන මුදල් පනත අනුව ජාතික විගණන මහලේකම් කාර්යාලය ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 2023 වර්ෂයේ කටයුතු සම්බන්ධයෙන් සිදු කරන ලද විගණනයට අදාළ විගණන මූල්‍ය ප්‍රකාශනයේ මේ බව සඳහන් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT