Monday, April 21, 2025
Home » අස්වැසුම වැඩි කරයි ජනවාරියේ සිට ක්‍රියාත්මකයි

අස්වැසුම වැඩි කරයි ජනවාරියේ සිට ක්‍රියාත්මකයි

by mahesh
December 26, 2024 1:06 am 0 comment

මහින්ද අලුත්ගෙදර

– රු.8500 දීමනාව රු.10,000ට නංවයි
– රු.15,000 දීමනාව රු. 17,500 දක්වා ඉහළට

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලබන පවුල් හා පුද්ගලයන්ට 2025 ජනවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි මාසිකව ප්‍රතිලාභ දීමනා ගෙවීමේ ක්‍රමවේදය ප්‍රකාශයට පත් කරමින් මුදල් හා ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024.05.17 දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය ද ජනාධිපතිවරයා විසින් ඉකුත් 21 දාතමින් නිකුත් කර ඇති නව ගැසට් නිවේදනය මඟින් අවලංගු කර ඇත.

අවලංගු වූ ගැසට් නිවේදනය පරිදි මෙතෙක් දුප්පත් පවුලකට හිමි වූ රුපියල් 8500 දීමනාව හා අන්ත දිළිඳු පවුලකට හිමි වූ රුපියල් 15,000ක දීමනාව නව ගැසට් නිවේදනය අනුව පිළිවෙළින් රුපියල් 10,000 සහ රුපියල් 17,500 ලෙස ඉහළ දමා ඇත. අනෙකුත් කාණ්ඩ සඳහා දීමනා ප්‍රමාණයන් නව ගැසට් නිවේදනය අනුව ද නොවෙනස්ව පවතී.

නව ගැසට් නිවේදනයට අනුව සංක්‍රාන්ති පවුල් 480,000කට 2025 ජනවාරි සිට මාර්තු දක්වා රුපියල් 5000ක් අවදානමට ලක් වූ පවුල් 480,000කට 2025 ජනවාරි සිට දෙසැම්බර් දක්වා රුපියල් 5000ක්, 2025 ජනවාරි සිට 2026 ජුනි දක්වා දුප්පත් පවුල් 960,000කට රුපියල් 10,000ක් සහ අන්ත දිළිඳු පවුල් 480,000කට රුපියල් 17,500ක් ලෙස මාසිකව අස්වැසුම ප්‍රතිලාභ දීමට යෝජිතය. පවුලේ සාමාජිකයන් ගණන 2ක් හෝ ඊට අඩු වූ විට මෙම දිමනාවන්ගෙන් අඩක් හිමිවේ.

එමෙන්ම 2025 ජනවාරි සිට ජූනි දක්වා පෙර පරිදිම වෙනත් හැකියා සහිත තැනැත්තන්ට රුපියල් 7500ක් ද වකුගඩු රෝගීන් සඳහා රුපියල් 7500ක් ද වැඩිහිටියන්ට රුපියල් 3000ක් ද දීමට නව ගැසට් නිවේදනයට අනුව යෝජිතයි. මෙම නව ක්‍රමවේදයන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබූ දින සිට ක්‍රියාත්මක වන බව නව ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT