Home » අසරණයන්ගේ චින්තනය තේරුම් ගැනීම සැබෑ නත්තලයි
නත්තල් දින පණිවිඩ

අසරණයන්ගේ චින්තනය තේරුම් ගැනීම සැබෑ නත්තලයි

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කියති

by mahesh
December 25, 2024 1:05 am 0 comment

අප තෝරා ගත යුත්තේ දිළින්දන් සමඟ නත්තල ගත කිරීම බවත් අසරණයන්ගේ චින්තනය තේරුම් ගෙන ජීවත් වීමට පුරුදු වීම නත්තලේ සැබෑ පණිවිඩය බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.

මෙවර නත්තල් දිනය නිමිත්තෙන් විශේෂ නත්තල් දින ප්‍රකාශයක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

තවදුරටත් උන්වහන්සේ මෙසේද පැවැසීය.

පුළුවන්කාරකම, ධනවත්කම දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියේ වටින්නේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේගේ උපතෙන් කියැවෙන්නේ පැහැදිලිවම සැප සම්පත් සියල්ලම අතහැරලා දාලා ඒ සියල්ල වැඩක් නැහැ කියන තත්ත්වයෙන් සලකලා දෙවියන් වහන්සේගේ පණිවිඩයට අනුව සාමාන්‍ය පවුලක ඉතාමත් අසරණ පරිසරයක බිහිවන්නට උන්වහන්සේ තීරණය කළා.

මේ උපත් කතාව තුළ දෙවියන් වහන්සේගේ විශේෂ තෝරාගත් පිරිසක් ලෙස උන්වහන්සේ දිළිඳු ජනතාවට ආදරය කරන බව පෙන්නුම් කරනවා. මේ කතාවෙන් ශුද්ධ වූ බයිබලය පුරාවටම සටහන් වෙන්නේ දෙවියන් වහන්සේ දිළිඳුන්ගේ දෙවියන් වහන්සේ කියලයි. මේ තුළ යම් ආකාරයක පණිවිඩයක් අපිට ලැබෙනවා. ක්‍රිස්තු භක්තිකයන් හැටියට අපි දිළිඳුන්ට ආදරය කළ යුතුයි. ඒ අය සමාජයට සාපයක් නොවෙයි.

සමාජයට ආශීර්වාදයක් කියලා හිතන්නට අප පුරුදු විය යුතුයි කියන එක එතැනින් පෙන්නුම් කරනවා. දෙවියන් වහන්සේ තෝරාගන්නේ අසරණයා. දිළින්දා. පිහිටක් නැති කෙනා. අපේ ආධ්‍යාත්මය තුළ නත්තලේ මංගල්‍යයේ සැබෑ අර්ථය අපි හරියටම තේරුම් ගත්තොත් අපේ පුළුවන්කාරකම, අපේ ධනවත්කම අප සතුව වටේ තියෙන දේවල් මේ කිසිදෙයක් දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියේ වටින්නේ නැහැ කියන එකයි අපට පෙන්නුම් කරන්නේ. ඒ නිසා මේවා පස්සෙන් ගිහිල්ලා ජීවිතය කාලකණ්ණි කරගන්න එපා. ධනයට බලයට තියෙන කෑදරකම නිසා මිනිස් ඉතිහාසය පුරාවටම මිනිසුන් බොහෝ දෙනකුගේ ජීවිත අසරණ තත්ත්වයට පත්වෙච්ච බව අමතක කරන්න එපා කියන එක මම මේ වේලාවේ ඔබට සඳහන් කළ යුතුයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT